හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ජාලයක් වන හේලීස් පී.එල්.සී.
(Hayleys PLC) සමාගම විසින් සිය කීර්තිනාමයට හානි කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ලක් විභාගයට ගනිමිනි.මෙරට මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද ඉහළ පිළිගැනීමක් සහිත හේලීස් සමාගම, කෘෂිකර්මාන්තය, බලශක්ති සහ මෝටර් රථ ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දැවැන්ත ව්‍යාපාරික සමූහයකි. ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, සම්භාවනීය පුද්ගලයන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වන සිය ආයතනය මෙරට ජනතාවගේ දැඩි විශ්වාසයට පාත්‍ර වූවක් බවයි.
එවන් පසුබිමක් යටතේ, වීරවංශ මහතා විසින් 2026 වසරේ පෙබරවාරි, අප්‍රේල් සහ මැයි යන මාස ඇතුළත අවස්ථා හතරකදී අදාළ සමාගමට එරෙහිව සමාජ මාධ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බව පැමිණිල්ලේ දැක්වේ. හේලීස් පී.එල්.සී., කිංස්බරි පී.එල්.සී., අලුතින් එක්වූ හේලීස් රිටේල් (Hayleys Retail), ජෙට්ස්ටාර් (Jetstar) නියෝජිත ආයතනය මෙන්ම එහි ලොජිස්ටික්ස්, මෝටර් රථ අංශය සහ පුනර්ජනනීය බලශක්ති ආදී අනුබද්ධිත සමාගම් රැසක් මෙන්ම එහි සභාපතිවරුන් ද ඉලක්ක කරමින් සෘජුව හා වක්‍රව මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම තත්ත්වය මත පැමිණිලිකාර පාර්ශවය විසින් 2026 මැයි 25 වැනිදාට ආසන්න දිනකදී විත්තිකරු වෙත එන්තරවාසියක් ද යොමු කර තිබේ. එසේ තිබියදීත්, හිටපු මන්ත්‍රීවරයා අදාළ රූපවාහිනී වැඩසටහනට සහභාගී වෙමින් සමාගමේ සහ එහි අනුබද්ධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් පවා ප්‍රසිද්ධියේ සඳහන් කරමින් අඛණ්ඩව අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති බවට සමාගම අධිකරණයට කරුණු දක්වා ඇත.
මෙම අසත්‍ය ප්‍රචාරණයන් අඛණ්ඩව සිදුවුවහොත් ආයතනයට පියවිය නොහැකි තරමේ විශාල හානියක් සිදුවන බව පෙන්වා දෙන හේලීස් සමාගම, සිය කීර්තිනාමයට වූ දැඩි හානිය වෙනුවෙන් විත්තිකරුගෙන් රුපියල් බිලියන 6ක වන්දියක් අයකර දෙන ලෙස ද ඉල්ලා සිටියි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කඩුවෙල දිසා අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර, එමඟින් පැමිණිලිකරු සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අසත්‍ය, අපහාසාත්මක හෝ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයක් සිදුකිරීම, නැවත පළකිරීම, ප්‍රසිද්ධ කිරීම හෝ සන්නිවේදනය කිරීම වළක්වා ඇත.
අදාළ නඩුව ලබන 2026 ජූනි මස 23 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ. පැමිණිලිකාර හේලීස් සමාගම වෙනුවෙන් නීතිඥ චානුක ඒකනායක මහතාගේ උපදෙස් මත, නීතිඥවරුන් වන ශෙනාලි ඩයස් සහ ඉෂාරා ජයකොඩිතන්ත්‍රි සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
