danger-of-suicide-sale

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ දැඩි අවදානමක පසුවන බව ඔහුගේ නීතිඥවරුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) දැනුම් දුන්නේය. මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන මහත්වරුන් විසින් මෝසමක් මගින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.




කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී තම සේවාදායකයා වධහිංසාවලට ලක්ව ඇති බවයි. මේ වන විට නිකුත් කර ඇති අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහු දැඩි කාංසාව, විශාදය සහ පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාව (PTSD) යන මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන බවද එහිදී අනාවරණය කෙරිණි. මෙම තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු මුහුණ දුන් බව කියන අමානුෂික ක්‍රියාකාරකම් බව නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ අවධාරණය කරන ලදී.

මෙම බරපතළ මානසික සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සුරේෂ් සලේ මහතාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයකට මාරු කර යවන ලෙසත්, ඔහුට අවශ්‍ය මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, මෙම මෝසම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටි බව සඳහන් වේ.




ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගත්තේය. මෙම මෝසමට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට (04) දින පස්වරු 2.00 ට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නඩුව යළි කැඳවීමට අධිකරණය විසින් වැඩිදුරටත් තීන්දු කර තිබේ.