පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් ෆෝ’ නාලිකාව අනාවරණය කළ කරුණු මුල් කරගනිමින්, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග මත තබාගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම විභාග කිරීමෙන් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉවත් වී තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම මුලින්ම සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම පෙත්සම අද (18) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත නව විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි සලකා බැලීමට නියමිතව ඇත.නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. තමන්ට ශ්‍රී ලංකාවෙන් බැහැරවීම තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බව ජනමාධ්‍ය වාර්තා ඔස්සේ දැනගන්නට ලැබුණු බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සම මඟින් පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ ‘චැනල් ෆෝ’ නාලිකාවේ හෙළිදරව් කිරීම් පදනම් කරගනිමින්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඕනෑම මොහොතක තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තැබීමේ දැඩි අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.
වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වූවකු වන අතර, ඊට අමතරව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම මඟින් ද ඔහුට එරෙහිව නිර්දේශ නිකුත් කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එවැනි පසුබිමක ඔහුගෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බැවින් සිදු කරන ඕනෑම අත්අඩංගුවට ගැනීමක් නීති විරෝධී වන බවත් පෙත්සමෙහි සඳහන් වේ. තවද, එවැනි ක්‍රියාවක් මඟින් ස්වභාව යුක්ති මූලධර්ම කඩවී තමන්ගේ පුද්ගලික නිදහස සීමා වන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් ආඥාවක් මෙන්ම පෙත්සම් විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. ඊට අමතරව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව සහ ඊට අදාළ සියලුම ලේඛන අධිකරණයට කැඳවන ලෙසද එහි දක්වා ඇත. මෙම පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්‍රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරු පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
