charit-was-sacked-by-sajaben-and-bahujan

අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු නියෝජනය කළ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි ජන බලවේගය සහ ‘බහුජන බලය’ යන දේශපාලන සංවිධාන ද්විත්වයම පියවර ගෙන තිබේ. 2023 වසරේදී සිදු වූ බව කියන අල්ලස් ලබාගැනීමේ සිදුවීමකට අදාළව ඔහුව පසුගිය 25 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ, එම දේශපාලන පක්ෂ විසින් මෙම කඩිනම් තීරණ ගෙන ඇති බව වාර්තා වේ.




සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, චරිත් අබේසිංහ මහතා එම පක්ෂයේ හොරණ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර, පවත්නා තත්ත්වය හමුවේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම දරනු ලැබූ සියලු තනතුරු වහාම අත්හිටුවීමට පක්ෂය තීරණය කළ බවයි. කෙසේ වුවද, මෙම අල්ලස් සිදුවීම සිදු වූ බව කියන 2023 වර්ෂය වන විට චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර නොමැති බවත්, 

එම වකවානුවේදී ඔහු පක්ෂයේ කිසිදු තනතුරක් දරා නොමැති බවත් එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත. දූෂණයට හෝ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් පක්ෂය කිසිවිටෙකත් පෙනී නොසිටින බවත්,

නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිම සහාය දක්වන බවත් සමගි ජන බලවේගය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර, චරිත් අබේසිංහ මහතාට එරෙහිව මතුව ඇති බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා, ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන නිල විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් සැලකිල්ලට ගනිමින් ඔහුව ‘බහුජන බලය’ සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ද ඒකමතිකව තීරණය කර තිබේ. බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ පක්ෂයේ කීර්ති නාමය, විශ්වාසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පරිපාලනමය තීරණය ගත් බවයි. මෙය අධිකරණය මඟින් වරදකරු කිරීමට පෙර ගනු ලැබූ පූර්ව නිගමනයක් නොවන අතර, ඉදිරි නීතිමය වර්ධනයන් සහ අධිකරණ තීන්දුව සැලකිල්ලට ගනිමින් විධායක මණ්ඩලය ඉදිරි පියවර ගන්නා බවද එම සංවිධානය පෙන්වා දෙයි.