charges-are-ready-for-pillaiyan

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් 'පිල්ලෙයාන්'ට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත අධි චෝදනා පත්‍රයක් මේ වනවිට සකස් කරමින් පවතින බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. සිය අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීතිවිරෝධී බව පවසමින් පිල්ලෙයාන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.




මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමඟ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඊට අදාළ හේතු පැහැදිලි නොකිරීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දුන්නේය. මීට වසර දහනවයකට පමණ පෙර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු අතුරුදන් වීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවද හෙතෙම තර්ක කළේය. එපමණක් නොව, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙන්ම ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේදීද අදාළ හේතු පෙත්සම්කරුට වාචිකව දැනුම් දීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බවයි. පොලොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ නීතිවිරෝධී කඳවුරක් පවත්වාගෙන යමින් විරුද්ධවාදීන්ට සහ විවිධ පුද්ගලයින්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහිව ප්‍රබල කරුණු විමර්ශන හරහා අනාවරණය වී ඇති බවද ඇය පැවසුවාය. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා එම කඳවුර තුළදී ඝාතනයට ලක්වූ බවට ඇසින් දුටු සාක්ෂි මෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මහෙස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් රහසිගත ප්‍රකාශයන්ද පවතින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය. එබැවින් විමර්ශනවලින් හෙළි වූ තොරතුරු මත පදනම්ව නීත්‍යානුකූලව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවත්, ඒ සඳහා ප්‍රකාශවල පිටපත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු බවට නීතියක් නොමැති බවත් ඇය වැඩිදුරටත් තහවුරු කළාය.




දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පිටපත් රහසිගත කවරයක බහා අධිකරණයට භාර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියෝග කළහ. මීට අමතරව, නඩුවට අදාළව ලිඛිත දේශන පවතින්නේ නම් ඒවා ජුනි මස 22 වනදාට පෙර ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් විනිසුරු මඬුල්ල, පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීමටද තීරණය කළහ.