will-ananda-wijepala-lose-his-position-as-a-member-of-parliament-petition-for-hearing

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එය ලබන නොවැම්බර් මස 03 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය විසින් දින නියම කර ඇත.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම වළක්වමින් නිකුත් කරන ලෙස ඉල්ලා තිබූ අතුරු නියෝගය ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය පියවර ගත්තේය.




ජනක් සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විශේෂ අභියාචන පෙත්සම සලකා බලනු ලැබීය. පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරමින් සිටින අතරතුර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථාපිත විධිවිධාන උල්ලංඝනය කිරීමක් වන බවයි. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ විශ්ව විමුක්ති මහතා ප්‍රකාශ කළේ, මන්ත්‍රී ධුරයක් දරන අතරතුර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි වන බැවින් එම පත්වීම සම්පූර්ණයෙන් නීති විරෝධී වන බවයි. එබැවින් අමාත්‍යවරයා වහාම මන්ත්‍රී ධුරයෙන් නෙරපා හැරිය යුතු බව නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කළේය.




මීට පිළිතුරු සපයමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් පෙරේරා මහතා කියා සිටියේ, මෙම කරුණ සම්බන්ධයෙන් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවයි. ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද පත්වීමක් අභියෝගයට ලක් කළ නොහැකි වීම, අත්‍යවශ්‍ය පාර්ශවයන් වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම සහ කාල විරෝධී වීම යන මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එලෙස පෙත්සම ප්‍රතික්ෂේප කර තිබුණි. තවද, ආරක්ෂක අමාත්‍යවරයා මෙම තනතුරට පත්ව ඇත්තේ මන්ත්‍රී ධුරය දරන අවස්ථාවේදී නොවන බවත්, ඊට පසුව බැවින් කිසිදු ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක් උල්ලංඝනය වී නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු මැනවින් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ මෙම විශේෂ අභියාචන පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දුන්නේය. මෙම නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විශ්ව විමුක්ති මහතා ද, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා ද පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් පෙරේරා මහතා පෙනී සිටියේය.