නිවසක පවතින අපල උපද්‍රව සහ භූත දෝෂ ඉවත් කර නිධානයක් ලබා දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 42ක මුදලක් සහ රන් පවුමක් වංචා කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ. කොටවෙහෙර, දිගන්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් පිරිස කොටු කරගෙන ඇත.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වනාතවිල්ලුව සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පිරිසකි. මෙම කණ්ඩායම අතර එක් මන්ත්‍රකරුවෙකුද සිටින බව පොලිසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී පැමිණිලිකාරියගෙන් වංචා කරන ලද මුදල්වලින් රුපියල් ලක්ෂ 14ක මුදලක් සහ උණු කරන ලද රන් පවුමක් සොයාගෙන තිබේ. ඊට අමතරව, මෙම වංචනික ක්‍රියාව සඳහා ඔවුන් භාවිත කළ මෝටර් රථයක්, ව්‍යාජ මැණික් ගලක් සහ නිධානයෙන් ගත් බව පවසමින් ඇයට ලබා දී තිබූ ව්‍යාජ බුදු පිළිම දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, සිද්ධියේ ප්‍රධාන සැකකරු විසින් අදාළ කාන්තාවගේ කොටවෙහෙර ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් ස්කෑනර් යන්ත්‍රයක් ආධාරයෙන් ගෙවත්ත පරීක්ෂා කර තිබේ. එහිදී එම නිවසේ භූත දෝෂයක් පවතින බවත්, පවුලේ සාමාජිකයන් නිතර රෝගාතුර වන්නේ එම හේතුවෙන් බවත් පවසා ඔහු නිවැසියන් බිය ගන්වා ඇත. එමෙන්ම නිවසේ සිටින භූතයා විසින් ආරක්ෂා කරනු ලබන වටිනා නිධානයක සැබෑ අයිතිකාරිය මෙම කාන්තාව බව පවසා ඇයගේ විශ්වාසය දිනා ගැනීමටද ඔහු කටයුතු කර තිබේ.
මෙම දෝෂය ඉවත් කර නිධානය ගොඩ ගැනීම සඳහා ගෙහිමි කාන්තාවගේ කැමැත්ත ලබාගත් ප්‍රධාන සැකකරු, ඒ සඳහා වන වියදම් ලෙස රුපියල් ලක්ෂ 42ක මුදලක් සහ රන් පවුමක් ඇයගෙන් ලබාගෙන ඇත. පසුව මන්ත්‍රකරුවෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු එම නිවසට කැඳවාගෙන විත් විශේෂ ශාන්තිකර්මයක් පවත්වා තිබේ. එම කටයුතු අතරතුරදී නිධානයෙන් මතු කරගත් බව පවසමින් ලෝහමය බුදු පිළිම වහන්සේලා දෙනමක් සහ මැණික් ගල් කිහිපයක් ඇයට ලබා දීමට සැකකරුවන් පියවර ගෙන ඇත.
ඉන්පසු මෙම පිළිම වහන්සේලා සහ මැණික් ගල් හලාවත, මුන්නේෂ්වරම ප්‍රදේශයේ පිහිටි සොහොන් කාලි දේවාලය වෙත ගෙන ගොස් විශේෂ පූජාවක් පැවැත්විය යුතු බව ප්‍රධාන සැකකරු ඇයට දන්වා තිබේ. ඒ අනුව ඇය එහි ගියද සැකකරුවන් පොරොන්දු වූ පරිදි එහි පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් ඇති වූ සැකය මත ඇය තමන්ට ලැබුණු භාණ්ඩ පරීක්ෂා කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම බුදු පිළිම කිසිදු වටිනාකමක් නොමැති සාමාන්‍ය ලෝහ වර්ගයකින් නිමවා ඇති බවත්, මැණික් ගල් ව්‍යාජ ඒවා බවත්ය.
තමන් විශාල මුදලකට රැවටීමට ලක්ව ඇති බව වටහාගත් කාන්තාව වහාම මේ පිළිබඳව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා වෙත පැමිණිලි කර ඇත. ඔහුගේ උපදෙස් පරිදි හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වැටලීම සඳහා පොලිස් සැරයන්වරුන් වන 33694 ඒකනායක, 59686 ජයතිස්ස, 68343 ජයසූරිය, 72434 උපුල් සහ පොලිස් කොස්තාපල්වරුන් වන 1568 බණ්ඩාර, 100543 ඉඳුනිල් මෙන්ම පොලිස් කොස්තාපල් රියදුරු 80408 ජයසිංහ යන නිලධාරීහු දායක වූහ.