
බොරැල්ල එන්.එම්. පෙරේරා මාවතේ පිහිටි නිවසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන, ජාතික හැඳුනුම්පත් සහ වාහන අංක තහඩු සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා තිබේ.
විශාල වශයෙන් මුදල් අය කරමින් දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ මෙම ජාවාරම සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් වයස අවුරුදු 54, 55 සහ 59 යන වයස්වල පසුවන්නන් වේ. ඔවුන් බොරැල්ල, වලස්ගල සහ ගෝනපොළ වීදිය, ගොඩහාලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෙම කණ්ඩායමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයක සේවය කරන කාර්යාල කාර්ය සහයකයෙකු, ව්‍යාපාරිකයෙකු මෙන්ම කම්කරුවෙකු ද ඇතුළත් බව පොලීසිය අනාවරණය කරයි. බොරැල්ලේ අදාළ නිවස වැටලූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිවසේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ නිල මුද්‍රා 600ක් පමණ ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, ඒ අතර ප්‍රධාන පෙළේ රජයේ දෙපාර්තමේන්තු, සාමදාන විනිශ්චයකාරවරුන්, නොතාරිස්වරුන්, නීතීඥවරුන් සහ විවිධ නිලතල දරන්නන්ගේ මුද්‍රා තිබූ බව තහවුරු වී ඇත. මීට අමතරව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අයත් ඔප්පු පිටපත් සහිත මුල් ගොනු දෙකක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හතරක් සහ මෙම කූට ක්‍රියාවන් සඳහා භාවිත කළ විද්‍යුත් උපකරණ මෙන්ම යතුරුලියනයක් ද විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.
මෙම කූට ජාවාරම හරහා උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ. තවද, අපරාධ සඳහා යොදාගත් බව කියන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත. පොදු දේපළ පනතට ගැනෙන වැරදි සිදුකිරීමේ චෝදනාව යටතේ අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
