50-crore-scam-in-colombo-municipality-in-2022

2022 වසරේ පැවැති දැඩි ආර්ථික අර්බුදය මුවාවෙන් කොළඹ මහ නගර සභාව තුළ රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.




කොළඹ නගර සීමාව තුළ ජීවත් වන අඩු ආදායම්ලාභීන් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මූල්‍ය ආධාර ලබා දී ඇති බවට සටහන් යොදමින් මෙම මහා පරිමාණ මුදල් අවභාවිතය සිදු කර ඇති බවට සැක කෙරේ. කෙසේ වෙතත්, අදාළ මුදල් ලබාගත් බවට කිසිදු පුද්ගලයෙකු හෝ ඒ සඳහා නිකුත් කළ ලේඛන කිසිවක් මේ දක්වා සොයාගැනීමට නොමැති වීම මෙම විමර්ශනවලදී දැඩි අවධානයට ලක්ව ඇති අතර, සැබැවින්ම මෙම ගෙවීම් සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිලධාරීන් කරුණු සොයාබලමින් සිටියි.

මීට අමතරව, රථවාහන ගාල් කිරීමේ ස්ථාන සහ පොදු වැසිකිළි බදු දීමේ ක්‍රියාවලියේදී ද දැවැන්ත මූල්‍ය වංචා සිදුව ඇති බව මූලික පරීක්ෂණ හරහා මේ වන විටත් අනාවරණය වී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පත් කරන ලද මෙම කොමිසමට 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලසීමාව තුළ කොළඹ නගර සභාවේ සිදුවූ නීති විරෝධී බඳවා ගැනීම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්, චංචල සහ නිශ්චල දේපළ බදු දීමේදී සිදුවූ අක්‍රමිකතා, බලය සහ රජයේ සම්පත් අවභාවිතය මෙන්ම රජයට දැඩි අලාභයක් සිදු කළ නඩු කටයුතු සහ සමථ කිරීම් ඇතුළු සියලු වංචාවන් සෙවීමේ පූර්ණ බලය පවරා තිබේ.




මෙම පුළුල් විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟම නගර සභාවේ ඇතැම් නිලධාරීන් දැඩි බියට පත්ව ඇති බවත්, ඔවුන් හදිසියේම රෝගී තත්ත්වයන් පෙන්වමින් නගර සභාවට පැමිණීම මඟහරිමින් සිටින බවත් කොමිසමට වාර්තා වී ඇත. කොමිසමේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ බලාපොරොත්තු වූවාට වඩා ඉතා විශාල පරිමාණයේ සිදුවීම් නගර සභාව තුළ සිදුව ඇති බවත්, රහස් පොලිස් නිලධාරීන්ද ඇතුළත් දක්ෂ විමර්ශන කණ්ඩායමක් හරහා මේ වන විට ඒ සියල්ල පිළිබඳව සොයා බැලීම ආරම්භ කර ඇති බවත්ය.

සංශෝධිත 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 02 වැනි වගන්තිය යටතේ 2025 දෙසැම්බර් 30 වැනි දින නිකුත් කළ අංක 2469/08 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කොළඹ 03, ගාලු පාරේ අංක 152 දරන ස්ථානයේ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ස්ථාපිත කර තිබේ. එහි සභාපතිවරයා ලෙස හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතා කටයුතු කරන අතර, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබති.