පාස්කු ඉරුදින එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව, ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත දැනට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහිදී සැකකරුගේ වත්මන් මානසික සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට රහස් පොලිසිය තුළදී එල්ල වී ඇතැයි කියන අමානුෂික වධහිංසා පිළිබඳව විත්තියේ නීතිඥවරුන් සහ පැමිණිල්ලේ නීතිඥවරුන් අතර ඉතා තියුණු තර්ක විතර්ක හුවමාරුවක් සිදුවිය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ මෙම නඩුව සඳහා, සැකකරුගේ පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද විශේෂ මෝසමක් මගින් මෙම සියලු කරුණු අධිකරණය හමුවට ගෙන එන ලදී. මෙම අවස්ථාව සඳහා අධිකරණයේ කැඳවීමකට අනුව රහස් පොලිසියේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ඇතුළු සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන නිලධාරීහු පිරිසක්ද අධිකරණයේ පෙනී සිටියහ.සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ, විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් සිය සේවාදායකයා දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති බවයි. පසුගිය මාර්තු 24 වැනිදා පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්ෂාවන් සිදුකර ඇති අතර, එහිදී ඔහුගේ මානසික, පෝෂණවේදී සහ අක්ෂි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමුකර ඇත. එම වෛද්‍ය වාර්තාවලට අනුව, සැකකරු මේ වන විට දැඩි මානසික ආතතියකින්, විශාදයෙන් සහ පශ්චාත් කම්පන තත්ත්වයකින් පෙළෙන බව තහවුරු වී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9B(3), 9B(4) සහ 9B(5) යන වගන්ති සහ ප්‍රතිපාදන යටතේ මොහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ මානසික සෞඛ්‍යයට හිතකර සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමට අධිකරණය කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
විත්තියේ නීතිඥවරයා තවදුරටත් කරුණු දක්වමින් බරපතල චෝදනාවක් එල්ල කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සිය සේවාදායකයා කෲර වධහිංසාවලට සහ අමානුෂික, නින්දාසහගත සැලකීම්වලට ලක්ව ඇති බවයි. ඔහු රහස් පොලිස් භාරයට පත්වීමට පෙර මෙවැනි කිසිදු මානසික හෝ ශාරීරික ආබාධිත තත්ත්වයකින් පසු නොවූ බවත්, අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදුවූ අමානුෂික ක්‍රියා හේතුවෙන් ඔහු මේ වන විට සියදිවි නසාගැනීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත් අධිකරණයට දන්වා සිටියේය. වෛද්‍ය වාර්තාවේ ස්ථාන හතකම මෙම වධහිංසා පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇති බව පැවසූ නීතිඥවරයා, සැකකරුගේ ඇඳුම් ගලවා කකුල් පළල් කිරීමට අණ කර පහර දුන් බවට සැකකරු විසින්ම වෛද්‍යවරුන් හමුවේ පවසා ඇති බවද හෙළි කළේය. 'මම සතෙක්ද?' යනුවෙන් සැකකරු ප්‍රශ්න කර ඇති බවද අධිකරණයේදී ප්‍රකාශ විය. මීට අමතරව, සැකකරු රඳවා සිටින ප්‍රදේශයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවල දත්ත සංරක්ෂණය කර තබන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ විසින් රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඊමේල් පණිවුඩයක් මගින් ලිපියක් යොමු කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
මෙම බරපතල චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා එම කරුණු තරයේ ප්‍රතික්ෂේප කළේය. ස්වයං ඝාතක බෝම්බකරුවන් අට දෙනෙකු වසර තුනක පමණ දීර්ඝ කාලයක් පුරා පාලනය කරමින් මෙහෙයවූ මෙන්ම, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ, හමුදා පුහුණුවක්ද සහිත නිලධාරියෙකු මෙතරම් පහසුවෙන් මානසිකව වට්ටන්නට පුළුවන්දැයි ඔහු ප්‍රශ්න කළේය. මෙම සැකකරු අධිකරණය නමැති වේදිකාව භාවිත කරමින් අතිදක්ෂ රංගනයක නිරත වන බවත්, විශේෂඥ මානසික වෛද්‍යවරුන් පවා රැවටීමට සමත් වූ ඔහුට 'ඔස්කාර්' සම්මානයක් ලබා දිය යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා උපහාසාත්මකව ප්‍රකාශ කළේය.
දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ, පසුගිය පෙබරවාරි 25 වැනිදා සිට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුගේ පවුලේ සාමාජිකයින්ට එනම් බිරිඳට සහ පුතාට මෙන්ම නීතිඥයින්ටද සෑම සතියකම ඔහු බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි. එහිදී ඔහුට අවශ්‍ය කෙටි ආහාර, කිරි පැකට් සහ බත් වර්ග පවා ලබා දී ඇති බවට සාක්ෂි සහිත වාර්තාවක්ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය. වධහිංසා පමුණුවන බවට චෝදනා කරමින් හදිසියේම මෙවැනි මෝසමක් ගොනු කර ඇත්තේ, අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සමක් සඳහා අයුතු අනුකම්පාවක් ලබා ගැනීමේ යටි අරමුණින් බවටද හෙතෙම චෝදනා කළේය. අහුන්ගල්ල හෝටලයේ සිදුවීමට අදාළ වාර්තා ලැබීමත් සමග යටපත් වී තිබූ කරුණු යළි ඉස්මතු වන විට ඔහුට හැඬෙන බව කී පැමිණිල්ල, ඔහු වෛද්‍යවරයා හමුවේ නොව උසාවිය හමුවේ හැඬිය යුතු බවද ප්‍රකාශ කළේය. තමන්ට ජංගම දුරකථනයේ මුරපද පවා අමතක වී ඇතැයි සැකකරු පැවසුවද, විමර්ශන නිලධාරීන් විසින් ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රයේ සහ උපකරණවල දත්ත සොයාගෙන ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි. එසේම ශානි අබේසේකර මහතා මාස දහයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී වාර විසි නවයක් වෛද්‍යවරුන් හමුවට ගියද මෙවැනි රංගනයන් සිදු නොකළ බවද පීරිස් මහතා සිහිපත් කළේය.
මෙම අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලබා වින්දිතයන් බවට පත් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාද සිය අදහස් දැක්වීය. ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මීට වසර හයකට පෙර දහස් ගණනක් අහිංසක මිනිසුන් කඳුළු සැලූ බවයි. එදා මිනිසුන් හැඬවීමට හේතු වූ ක්‍රියාවන් කළ අයට, තමන් අත්අඩංගුවට පත්වේවි යැයි කිසිදා නොසිතූ අයට, වසර හයකට පසු අද අත්අඩංගුවට පත්වූ විට හැඬීමට සිදුවීම පුදුමයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් රහස් පොලිස් භාරයේ හෝ අත්අඩංගුවේ පසුවන ඕනෑම සැකකරුවෙකු යම් මානසික පීඩනයකට ලක්වීම සහ වෛද්‍යවරුන් හමුවේ මෙවැනි කරුණු ප්‍රකාශ කිරීම ස්වාභාවික තත්ත්වයක් බවත්, එය විශේෂ කොට දැක්විය යුතු කරුණක් නොවන බවත් පවසමින් විත්තිය විසින් ගෙන එන ලද තර්ක ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ තර්කවලට නැවතත් පිළිතුරු ලබා දුන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ, තමන් මෙම වෛද්‍ය වාර්තා කිසිදු කුමන්ත්‍රණයකට හෝ අයුතු වාසියක් ලබා ගැනීමේ අරමුණින් භාවිත නොකරන බවයි. විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් විසින් ලබා දුන් වෛද්‍ය තීරණ අසත්‍ය යැයි පැවසිය නොහැකි බවත්, එම වාර්තා තමන්ට ලැබුණේ මැයි විසිඑක් වැනිදා වන අතර මෝසම ගොනු කළේ ඊයේ දින බවත් ඔහු තර්ක කළේය. ඔස්කාර් සම්මානයක් ලැබිය යුතු වෙනත් පුද්ගලයින් මෙම අධිකරණ ශාලාව තුළ සිටිය හැකි බව පැවසූ ඔහු, පවතින විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව මහජන විශ්වාසය අබමල් රේණුවක් තරම්වත් නොමැති මට්ටමකට පත්ව ඇති බවද මෙහිදී ප්‍රකාශ කළේය.
දෙපාර්ශවය විසින්ම ඉතා දීර්ඝ ලෙස සහ උණුසුම් මුහුණුවරකින් ඉදිරිපත් කරන ලද මෙම සියලු කරුණු සහ තර්ක විතර්ක පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මෝසමට සහ අදාළ ඉල්ලීම්වලට අදාළව නියෝගය ලබා දීම එළඹෙන ජුනි මස 10 වැනි දින ප්‍රකාශයට පත් කරන බව විවෘත අධිකරණයේදී දැනුම් දුන් අතර, එදිනට පැමිණිල්ල යළි කැඳවීමටද නියම කළේය.
