ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වරක් වසා දැමීමට තීරණය කර තිබේ. මැදපෙරදිග භූදේශපාලනික ස්ථාවරත්වයට මෙන්ම ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරන මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතර මෑතකදී ඇති කරගත් තාවකාලික එකඟතාවලින් පසු උද්ගත වූ බිඳෙනසුලු වාතාවරණය මධ්‍යයේය.
ඉරාන ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානය සහ විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව නිවේදනය කරන්නේ ඇමෙරිකානු සම්බාධක සහ අවහිරතා ඉවත් කර ලෙබනනයේ සටන් විරාමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තෙක් මෙම වසා දැමීම "නැවත දැනුම් දෙන තුරු" වලංගු වන බවයි. මෙම තීරණය නොසලකා හරිමින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට නිසැකවම ප්‍රහාර එල්ල කරන බවටද ඔවුන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. දකුණු ලෙබනනයේ සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියයාමට හේතු වූ ඉශ්‍රායල ප්‍රහාර, මීට පෙර ඇති කරගත් එකඟතා මුළුමනින්ම බිඳදැමීමක් බව ටෙහෙරාන් පාලනය පෙන්වා දෙයි.
මීට පෙර හටගත් දැඩි යුදකාමී වාතාවරණයෙන් පසුව ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සිය දේශපාලන සහ යුදමය උපායමාර්ගික මෙවලමක් ලෙස භාවිත කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර කෙටි කාලීන සටන් විරාම කොන්දේසි යටතේ මෙම මුහුදු මාර්ගය තාවකාලිකව විවෘත කෙරුණද, ලෙබනනයේ පවතින ගැටුම් සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයන් හේතුවෙන් එය නැවත වසා දැමීමට ඉරානය පෙළඹී ඇත. මෙම බරපතල තත්ත්වය හමුවේ වුවද, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළළේ නිලධාරීන් ස්විට්සර්ලන්තයේදී සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
මෙම කලාපය තුළ තම බලය පවත්වා ගැනීම සඳහා ඉරාන ආරක්ෂක බලකාය සතු වේගවත් ප්‍රහාරක යාත්‍රා, නාවික බෝම්බ සහ නෞකා නාශක මිසයිලවලින් සමන්විත "මොස්කිටෝ ෆ්ලීට්" (Mosquito Fleet) නාවික බලඇණිය සන්නද්ධ කර තිබේ. අසමමිතික යුද උපක්‍රම භාවිත කරමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය නතු කර ගැනීමට ඉරාන නාවික හමුදාව මේ වන විටත් පියවර ගෙන ඇති බැවින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවිශ්වාසයක් නිර්මාණය වී ඇත.
ලෝකයේ සමස්ත තෙල් වෙළඳාමෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය මෙලෙස අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ක්ෂණිකව ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ. දීර්ඝකාලීන වශයෙන් මෙම වසා දැමීම සිදුවුවහොත්, ගෝලීය උද්ධමනය ඉහළ යාමට, ඉන්ධන පිරිවැය වැඩිවීමට සහ සැපයුම් දාමයන් සම්පූර්ණයෙන්ම අඩාල වීමට එය සෘජුවම බලපානු ඇත. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරාකය වැනි අනෙකුත් මැදපෙරදිග රටවල බලශක්ති අපනයනයටද මෙයින් දැඩි බාධා එල්ල වේ.
සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ජාත්‍යන්තර නැව් ගාස්තු සහ රක්ෂණ පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති අතර, නෞකා සඳහා විකල්ප දිගු මුහුදු මාර්ග භාවිත කිරීමට සිදුවීමෙන් ලෝක ව්‍යාප්තව ආහාර සහ ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැක. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් විසින් වෙළඳ නැව් සඳහා නාවික ආරක්ෂාව සැපයීමට හෝ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට ඉඩ ඇති බව විදේශීය විශ්ලේෂකයෝ පවසති. කෙසේ වුවද, දැනට ක්‍රියාත්මක දින 60ක බිඳෙනසුලු සටන් විරාම ක්‍රියාවලිය සහ සම්බාධක ලිහිල් කිරීමේ සාකච්ඡා මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇත.
