
එක්සත් රාජධානිය තුළ වෘත්තීයමය වශයෙන් සහ ස්වේච්ඡාවෙන් විශාල සමාජ මෙහෙවරක නිරත වෙමින් සිටින ශ්‍රී ලාංකික පවුලක් එරටින් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන වික්ටෝරියා කොලින්ස් මහත්මිය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය අමතමින් අවධාරණය කර සිටියේ, අදාළ ශ්‍රී ලාංකික පවුල මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය වහාම මැදිහත් විය යුතු බවයි.
ප්‍රදේශයේ පොදු ප්‍රජාව වෙනුවෙන් අතිශය වටිනා සේවාවක් ඉටු කරන මෙම පිරිස මෙලෙස රටින් පිටුවහල් කිරීමට කටයුතු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බව ඇය එහිදී පෙන්වා දුන්නාය.මෙම පිටුවහල් කිරීමේ නියෝගයට මුහුණ දී සිටින්නේ පසුගිය වසර හතරක කාලය පුරා සියලු නීත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි රසිඛ සමරසිංහ, ඔහුගේ බිරිඳ වන 45 හැවිරිදි චමිලා දිල්රුක්ෂි සහ ඔවුන්ගේ බාල වයස්කාර දරුවන් තිදෙනායි. රසිඛ සත්කාරක සේවකයෙකු ලෙස සේවය කරන අතර, චමිලා නෝර්ත්චර්ච් ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සහාය දක්වන උපකාරක ගුරුවරියක ලෙස මෙන්ම ප්‍රාදේශීය දේවස්ථානයේ ස්වේච්ඡා සේවිකාවක ලෙසද කටයුතු කරයි. නව වීසා රෙගුලාසි යටතේ නීත්‍යානුකූලව පදිංචිව සිටි මෙම පවුලේ මවට සහ දරුවන් තිදෙනාට දින 14ක් ඇතුළත බ්‍රිතාන්‍යයෙන් පිටව යන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හදිසියේම නියෝග කර ඇති අතර, පියාට පමණක් එහි රැඳී සිටීමට අවසර දී තිබීම හේතුවෙන් ඔවුන් දැඩි ව්‍යාකූලත්වයට පත්ව සිටිති.
බලධාරීන්ගේ මෙම තීරණය හේතුවෙන් එම ප්‍රදේශයේ වෙසෙන බ්‍රිතාන්‍ය වැසියන් දැඩි කම්පනයට පත්ව ඇති අතර, ඔවුන් මේ වන විටත් මෙම ශ්‍රී ලාංකික පවුල වෙනුවෙන් සිය සහයෝගය පළ කරමින් සිටින බව මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. ප්‍රදේශවාසීන් විසින් මෙම යුවළ හඳුන්වනු ලබන්නේ සමාජයේ පෙරටුගාමී සේවකයන් සහ ප්‍රජාවේ ශක්තිමත් කුළුණු ලෙස වන අතර, ඔවුන්ගේ කරුණාවන්තභාවය සහ කැපවීම මුළු මහත් ප්‍රජාවගේම ඇගයීමට ලක්ව තිබේ. පියෙකුගෙන් දරුවන් වෙන් කිරීම මඟින් දරුවන්ට දැඩි මානසික බලපෑම් එල්ල විය හැකි බැවින්, මානුෂීය පදනමක් මත මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස අදාළ පවුලද බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී සාධනීය විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් තමන් සංක්‍රමණ අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව වික්ටෝරියා කොලින්ස් මහත්මිය ප්‍රකාශ කළාය. මෙවැනි අසීරුතා රැසකට මුහුණ දෙන සෙසු පවුල් කෙරෙහිද රජයේ අවධානය යොමුවිය යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කැරොලයින් නෝක්ස් මහත්මිය සඳහන් කළේ මන්ත්‍රීවරියගේ කනස්සල්ල තමන් වටහා ගන්නා නමුත් මෙය කථානායක ධුරය හරහා සෘජුව විසඳිය හැකි ගැටලුවක් නොවන බවයි. ඒ අනුව, මෙම ශ්‍රී ලාංකික පවුල වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටීම සඳහා ගත හැකි විකල්ප පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු නිලධාරී මණ්ඩලය (Table Office) සමඟ එක්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය කථානායකවරිය විසින් මන්ත්‍රීවරියට උපදෙස් දෙන ලදී.
