වසර දහයකට අධික කාලයක් තිස්සේ බාහිර ලෝකයෙන් සඟවා, දැඩි වධහිංසාවට ලක් කරමින් සිරකර තබා සිටි මවක සහ ඇගේ දරුවන් පස්දෙනා වෙනුවෙන් නිදහසේ දොරටු විවර වූයේ එක් කුඩා පුතෙකු දිවි පරදුවට තබා කළ බේරී යාමකිනි. ඇෆ්ගන් දේශසීමාවට ආසන්න පාකිස්තානයේ හුදෙකලා බාරා ප්‍රදේශයේ අබලන් මැටි ගෙයක සිරකර සිටි සිල්වි යැස්මිනා නමැති 54 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාව සහ ඇගේ දරුවන් පස්දෙනා, පාකිස්තාන පොලිසිය විසින් දියත් කළ විශේෂ වැටලීමකදී සාර්ථකව මුදාගනු ලැබීය.
පසුගිය ජුනි 18 වැනිදා සිදුවූ මෙම වැටලීමට මග පෑදුවේ, නිවසින් රහසේ පැන ගොස් ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට තොරතුරු ලබා දුන් ඇගේ එක් පුතෙකුගේ අසමසම නිර්භීතකමයි. දිගුකාලීන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ හුදෙකලා කිරීමේ බිහිසුණු පරිච්ඡේදයක නිමාව සලකුණු කරමින් සැකකාර සැමියා වන අහමඩ් ඛාන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
වසර දහයකට පෙර ඔවුනට උරුම වූ ඒ අඳුරු බිත්ති හතර තුළ පැවතියේ බිය, සැකය සහ වේදනාව පමණි. සිය සැමියාගෙන් එල්ල වූ දෛනික ශාරීරික හා මානසික වධහිංසා හේතුවෙන් යැස්මිනාගේ මුහුණේ සහ ශරීරයේ තවමත් නොමැකී පවතින තුවාල කැළැල් ඇගේ කඳුළු කතාව ලොවටම හඬගා කියයි. පාකිස්ථානයට පැමිණීමෙන් පසු කිසිදු දිනෙක පාසල් පියගැට පෙළක් නොදුටු ඇගේ දරුවන්ගේ අනාගතය ද එම අඳුරු කාමරයටම සීමා වී තිබුණි. "අපිට නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබුණේ, ඔහු අපිට හැමදාම ගැහුවා, මගේ අනාගතය දැනටමත් විනාශ වෙලා ඉවරයි කියලා මට හිතුණා," යැයි පසුව ඇය කඳුළු පිරුණු දෑසින් යුතුව පවසා සිටියාය.
2003 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පාකිස්තාන ජාතිකයෙකු සමඟ විවාහ වී යුරෝපයේ සාමකාමී ජීවිතයක් ගත කළ යැස්මිනා, 2014 වසරේදී සිය සැමියාගේ උපන්ගම වෙත පැමිණෙන්නේ තම ජීවිතය මෙතරම් අගාධයකට ඇද වැටේවි යැයි සිහිනයකින්වත් නොසිතමිනි. මෙම ඛේදවාචකය හුදෙක් එක් පවුලක කතාවක් පමණක් නොව, පාකිස්තාන සමාජය තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සැබෑ යථාර්ථය යළිත් ලොවටම මතක් කර දෙන්නකි. සංඛ්‍යාලේඛනවලට අනුව එරට විවාහක කාන්තාවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වන අතර, ඉන් බහුතරයක් දෙනා සමාජයීය බිය සහ පීතෘමූලික සංස්කෘතික රාමු හේතුවෙන් නිහඬවම දුක් විඳිති. "අවුරත් පදනම" වැනි මානව හිමිකම් සංවිධානවල ක්‍රියාකාරිනියක වන ශබීනා අයාස් පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම සමස්ත සමාජයේම දෑස් විවර කරවන ප්‍රබල අනතුරු ඇඟවීමක් විය යුතු බවයි.
දැනට පෙෂාවර් නුවර ආරක්ෂිත නිවාසයක රැඳී සිටින යැස්මිනා සහ ඇගේ දරුවන් නැවත ප්‍රංශය බලා පිටත් කර හැරීමට ප්‍රංශ තානාපති කාර්යාලය සහ පාකිස්තාන බලධාරීන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටිති. මුදාගැනීමෙන් පසු ඉංග්‍රීසි සහ පැෂ්ටෝ භාෂා මිශ්‍ර කරමින් ඇය පොලිස් නිලධාරීන්ට ස්තූති කළ ද, වසර දහයක් තිස්සේ අධ්‍යාපනය අහිමිව, දැඩි මානසික කැලඹීමකට ලක්ව සිටින ඒ අහිංසක දරුවන්ගේ බිඳීගිය ජීවිත සහ ඔවුන්ගේ හදවත් තුළ කා වැදී ඇති බිය සදහටම මකා දැමීමට හැකි වේද යන්න තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි.
බිත්ති හතරකට සීමා වූ ඒ අඳුරු දශකය කෙළවර වූයේ මහා බලවතෙකුගේ මැදිහත්වීමකින් නොව, නිදහස සොයා අඳුරේ පියනැඟූ එක් කුඩා දරුවෙකුගේ නොසැලෙන ධෛර්යය නිසාමය.