those-who-went-to-sell-a-rare-rock-are-caught

පුරාවිද්‍යාත්මක හෝ පෞරාණික වටිනාකමකින් යුක්ත බවට සැක කෙරෙන දුර්ලභ ගණයේ පාෂාණ කොටසක් රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් පස් දෙනෙකු පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මෙම පාෂාණමය කොටස විකිණීම සඳහා මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙත රැගෙන ගොස් ඇති අතර, එම ගැනුම්කරු විසින් එය මිලදී නොගැනීම හේතුවෙන් නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටියදී පුල්මුඩේ පොලිස් වසමට අයත් තෙන්නමරවාඩි ප්‍රදේශයේදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.




පුල්මුඩේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව 15 වනදා සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් පස්දෙනා සමඟ ඔවුන් ගමන් ගත් මෝටර් රථය සහ අදාළ පාෂාණමය කොටස ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ත් 57ත් අතර වයස් සීමාවල පසුවන ත්‍රිකුණාමලය, පුලියන්කුලම සහ ඊච්චලම්පත්තු යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම පාෂාණයේ සැබෑ ස්වභාවය සහ එහි නියම පෞරාණික වටිනාකම නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා අධිකරණ අවසරය මත පුරාවිද්‍යා වාර්තාවක් කැඳවීමට ද කටයුතු සූදානම් කර ඇත. පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බි. ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල තිලක් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

those-who-went-to-sell-a-rare-rock-are-caught