
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ප්‍රකට ‘සමන් කොල්ලා’ නැමැත්තා විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ බවට සැකපිට 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ, මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී පසුගිය සඳුදා (15) රාත්‍රී කාලයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේදී සැකකාර සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීහු සමත් වූහ. ඉන් අනතුරුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සහ සැකකරු සතු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, ‘සමන් කොල්ලා’ නැමැති පාතාල සාමාජිකයා සමඟ ඔහු සමීපව අදහස් හුවමාරු කරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් විවිධ උපදෙස් සහ විධානයන් ලැබී ඇති බවත් අනාවරණය වී තිබේ.
ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ මත්ද්‍රව්‍ය තොග ලබාගත යුතු ස්ථාන මෙන්ම ඒවා ආරක්ෂිතව සැඟවිය යුතු ස්ථාන පිළිබඳවද සැකකරු වෙත විධානයන් ලැබී ඇති බව විමර්ශනවලදී හෙළි විය. ඒ අනුව, ලැබුණු දුරකථන මාර්ගෝපදේශ සහ සිතියම් සටහන් මත මත්ද්‍රව්‍ය පැකට් සඟවා තබා තිබූ ස්ථාන රැසක් හඳුනා ගැනීමටද පොලිසියට හැකි වී තිබේ. මෙම සිසුවා අදාළ ජාවාරම්කරුගේ සෘජු උපදෙස් මත මත්කුඩු තබා ගනිමින් සහ ඒවා විවිධ ස්ථානවල සඟවමින් මෙම බෙදාහැරීමේ ජාලය තුළ ක්‍රියාකාරීව කටයුතු කර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට පත් මෙම සැකකරු අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුව අඟහරුවාදා (16) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු පුළුල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි.
