පසුගිය 2025 වසරේ ජූනි මස 12 වනදා සිදු වූ එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් (Air India Boeing 787-8 Dreamliner) ගුවන් යානා අනතුරට වසරක් සපිරීම නිමිත්තෙන්, එම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් විශේෂ ගුණානුස්මරණ සහ ආගමික වතාවත් සංවිධානය කර තිබේ. මෙම අනතුර සිදු වූ අහමදාබාද්හි බී.ජේ.
වෛද්‍ය විද්‍යාලයීය නේවාසිකාගාර සංකීර්ණය අසලට රැස් වූ මියගිය අයගේ ඥාතීන් සහ හිතවතුන් දැඩි ශෝකයෙන් යුතුව තම ආදරණීයයන් සිහිපත් කළහ. අනතුරෙන් දිවි ගලවා ගත් නමුත් ඇගේ 14 හැවිරිදි පුත් ආකාශ් පට්නි අහිමි වූ සීතාබෙන් පට්නි, අනතුර සිදු වූ ස්ථානය අසල සවිකර තිබූ තම පුතුගේ සේයාරුවක් ඉදිරිපිට හඬා වැටුණු අතර, එහි සිටි සෙසු ඥාතීහු ඇයව අස්වැසීමට කටයුතු කළහ.මෙම අවාසනාවන්ත ගුවන් අනතුරෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් වූ අතර, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලින්ඩි කැමරන් මහත්මිය ද අනතුරෙන් මියගිය පිරිස වෙත සිය ගෞරවය පුද කිරීමට කටයුතු කළාය. මීට අමතරව, මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් එළඹෙන සෙනසුරාදා දින බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් නුවරදී ද විශේෂ අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට නියමිතය. ගුවන් යානය කඩා වැටුණු බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, සිසුන් සහ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව විද්‍යාල පරිශ්‍රයේදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර, අනතුරෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් එහිදී ලේ දීමේ කඳවුරක් ද පවත්වනු ලැබීය.
සමහර පවුල් මෙම සැමරුම් කටයුතු අනතුර සිදු වූ ස්ථානයෙන් බැහැරව සිදු කිරීමට පියවර ගෙන තිබේ. බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර සංකීර්ණයට ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් සර්ලාබෙන් ඨාකූර් සහ ඇගේ දෙහැවිරිදි දියණිය වූ ආධ්‍යා ජීවිතක්ෂයට පත්වූහ. අහමදාබාද්හි පිහිටි ඔවුන්ගේ කුඩා නිවසේ බිත්ති මත ඔවුන් දෙදෙනාගේ ඡායාරූප තවමත් දක්නට ලැබෙන අතර, පළමු වර්ෂපූර්ණය නිමිත්තෙන් ඔවුන් වෙනුවෙන් අසල පිහිටි දේවාලයක ආගමික වතාවත් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව සිටි 200කට ආසන්න ඥාතීන්, අසල්වාසීන් සහ මිතුරන් පිරිස සඳහා තම නිවස කුඩා වැඩි බැවින් මෙම ආගමික වතාවත් දේවාලයක සංවිධානය කළ බව සර්ලාබෙන්ගේ දියණියක වන උමා ඨාකූර් දුරකථනයෙන් ප්‍රකාශ කළාය.
ඨාකූර් පවුලේ සාමාජිකයන් ජූනි 12 වනදා හඳුන්වනු ලබන්නේ "කළු දිනයක්" ලෙසය. ඔවුන් පවසන්නේ එම සිදුවීමෙන් ඇති වූ දැඩි ශෝකය තවමත් එලෙසම පවතින බැවින් ඔවුන් තම නිවසේ තිබූ ඔරලෝසු පවා ඉවත් කර ඇති බවයි. වේලාව දෙස බැලීමෙන් පවා, අනතුර සිදු වූ වහාම සර්ලාබෙන් සහ ආධ්‍යා පිළිබඳ කිසියම් හෝ තොරතුරක් සෙවීම සඳහා අහමදාබාද් පුරා පිහිටි රෝහල් සහ මෘත ශරීරාගාර වෙත දිව යමින් ගත කළ ඒ බියකරු සහ කලබලකාරී පැය කිහිපය වෙත තම මනස නැවත ඇදී යන බව ඔවුහු සංවේගයෙන් යුතුව සඳහන් කරති.