an-uproar-because-of-arjuna-who-was-kulappu

දික්වැල්ල, වැවුරුකන්නල බුදුරජ මහා විහාරයේ පැවති වාර්ෂික වෙසක් මහා පෙරහැර අතරතුරදී 'අර්ජුන' නමැති විහාරස්ථානයට අයත් හස්තියා කුලප්පු වීමෙන් පෙරහැර නරඹමින් සිටි ජනතාව දැඩි භීතියට පත් වූහ. පසුගිය 31 වැනිදා පස්වරු 4.30ට පමණ කොන්දෙණිය මංසන්ධිය ආසන්නයේදී මෙම සිදුවීම වාර්තා වූ අතර, එහිදී කෝපයට පත් හස්තියාගේ ප්‍රහාරයට ලක්වීමට ගිය ආබාධිත වැඩිහිටියෙකු ආශ්චර්යමත් ලෙස දිවි බේරා ගැනීම එහි වූ සුවිශේෂීම සිදුවීමයි.




එදින පස්වරු 2.10ට පමණ සධාතුක කරඬුව සහිතව ආරම්භ වූ පෙරහැර බෙලිඅත්ත - මාතර පැරණි ප්‍රධාන මාර්ගය ඔස්සේ යෝනකපුර හරහා දික්වැල්ල නගරය දෙසට ගමන් කරමින් තිබිණි. කොන්දෙණිය මංසන්ධිය ආසන්නයට පැමිණෙනවාත් සමගම එකවරම නොසන්සුන් වූ අර්ජුන හස්තියා, මාර්ගය මැද වටයක් කැරකෙමින් සිය ඇත්ගොව්වාටද තදබල පහරක් එල්ල කර ඇත. මේ හේතුවෙන් පෙරහැරේ ගමන් ගත් නර්තන කණ්ඩායම් මෙන්ම නරඹන්නන් ද දැඩි කලබලයට පත්ව බඩුමුට්ටුද පෙරළාගෙන ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබේ.

හස්තියාගේ පහර කෑමෙන් විසිවී ගිය ඇත්ගොව්වා නැවත පැමිණ අලියාගේ වලිගයේ එල්ලී උගේ අවධානය වෙනතකට යොමු කරමින් සතා මෙල්ල කිරීමට උත්සාහ කළද එය සාර්ථක වී නොමැත. එම අවස්ථාවේදී ඇතැම් බීමත් පුද්ගලයන් අවට පිරිසගේ අනතුරු ඇඟවීම් පවා නොතකා හැසිරුණු බවද වාර්තා වේ.




අතිශය නොසන්සුන්කාරී ලෙස හැසිරුණු හස්තියා, අනතුරුව පෙරහැර නරඹමින් මාර්ගය පසෙක බිම වාඩි වී සිටි ආබාධිත වැඩිහිටියෙකු දෙසට එකවරම දිවවිත් ඇත. තමාට ඉවත්ව යාමට නොහැකිව අසරණ වූ එම වැඩිහිටියා දෑත් එක්කොට හස්තියාට වඳිමින් සිය ජීවිතයට කරදරයක් නොකරන ලෙස අයැද සිටිනු දක්නට ලැබිණි. මෙම සංවේදී අවස්ථාව දුටු අසල නිවසක උඩුමහලේ සිටි කාන්තාවන් සහ කුඩා දරුවන්, එම අසරණ පුද්ගලයාගේ ජීවිතය බේරා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් හඬා වැලපෙමින් එක හඬින් කන්නලව් කර තිබේ.

ජනතාවගේ කෑගැසීම් සහ කන්නලව් කිරීම් මධ්‍යයේ ආබාධිත පුද්ගලයා දෙසට හොඬවැළ දිගු කළ හස්තියාගේ ස්වරූපය එකවරම වෙනස් වී, ඔහුට කිසිදු අනතුරක් නොකර මන්දගාමීව පසුපසට ගමන් කර ඇත. අලියාගේ කෝපය නිවී යමින් සාමාන්‍ය තත්ත්වයට පත්වන ආකාරය දක්නට ලැබුණු අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් අවට සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු වහා ඉදිරියට පැමිණ ආබාධිත වැඩිහිටියාව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇත. පසුව පොලිසිය කළ සොයා බැලීම්වලදී තහවුරු වී ඇත්තේ ඇත්ගොව්වාගේ බීමත් හැසිරීම මෙම නොසන්සුන්තාවට ප්‍රධාන හේතුව වී ඇති බවයි. පෙරහැර ආරම්භ වීමට පෙර දහවල් කාලයේදී ද බීමතින් සිටි ඔහු වෙනත් පුද්ගලයෙකුගේ පහරකෑමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

an-uproar-because-of-arjuna-who-was-kulappu