an-emotional-note-from-ruhunu-university-sandalis-lover-who-succumbed-to-dengue

දිනෙන් දින ශීඝ්‍රයෙන් හිස ඔසවන බියකරු ඩෙංගු මාරයාට බිලි වෙමින් රුහුණ විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක අකාලයේ දිවියෙන් සමුගැනීමේ ශෝකජනක පුවතක් මාතර, දෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි හික්කඩුව විතානගේ සඳලි තාරකා මෙනෙවියයි.

සරසවි සිහිනය සැබෑ කරගනිමින් තමන්ගේම කියා සුන්දර අනාගතයක් ගොඩනඟා ගැනීමට වෙහෙසෙමින් සිටි මෙම තරුණියගේ හදිසි නික්මයාම සමස්ත සරසවි ප්‍රජාවම දැඩි කම්පනයකට පත් කර තිබේ. විශ්වවිද්‍යාලයේ 46 වැනි කණ්ඩායම නියෝජනය කළ ඇය, එහි නර්තන කණ්ඩායමේ ද දක්ෂ හා ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කළාය.




උණ වැළඳී රෝගාතුරව සිටි අවස්ථාවේදී ඇය විසින් තම මිතුරියන් වෙත වට්ස්ඇප් (WhatsApp) තාක්ෂණය ඔස්සේ යොමු කරන ලද අවසන් පණිවුඩ පෙළ මේ වන විට බොහෝ දෙනෙකුගේ නෙත් කඳුළින් තෙත් කිරීමට සමත් වී ඇත. ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබූ නර්තන ප්‍රසංගයක පුහුණුවීම්වල නිරතව සිටි ඇය, "මට ඩෙංගු හැදිලා ගෙදර ආවා, ඩාන්ස් එකට එන්න බැරිවෙයි, සොරි" යනුවෙන් මුලින්ම පවසා තිබුණි. ඉන් අනතුරුව ඇය ලෙඩ ඇඳේ සිට තම මිතුරු සමූහය වෙත "මම නොමැරුණොත් එන්නම් යාළුවනේ ඔයාලව බලලා යන්න" යනුවෙන් තැබූ සටහන, ඇගේ ජීවිතයේ අවසාන පණිවුඩය වනු ඇතැයි කිසිවෙකුත් සිහිනයකින් හෝ නොසිතන්නට ඇත. මරණයේ සේයාවන් කලින්ම දැනී තැබුවාක් වැනි වූ එම සංවේදී වැකිය සරසවි සිසුන්ගේ හදවත් මහත් සේ සසල කර තිබේ.

සඳලි තාරකා ශිෂ්‍යාව සිය විභාග කටයුතු හේතුවෙන් විශ්වවිද්‍යාලය අසල පිහිටි නේවාසිකාගාරයක නැවතී සිට ඇති අතර, එහි සිටි තවත් සිසුන් කිහිපදෙනෙකුටම ඩෙංගු වැළඳී ඇති බව දැනගත් ඇගේ දෙමාපියන් වහාම ඇයට නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත. එහෙත් විභාගය මඟහැරෙනු ඇතැයි බියෙන් "අනේ අම්මේ මට විභාගය තියෙනවා, මම කොහොමද එන්නේ" යැයි පවසමින් ඇය එහිම නතර වී තිබේ. පසුව ඇයට දැඩි උණ තත්ත්වයක් වැළඳීම නිසා ඇගේ පියා වහාම ගොස් එදිනම රාත්‍රියේ ඇයව නිවස වටා කැඳවාගෙන විත් ඇත. දියණියගේ මව දෙණියාය මූලික රෝහලේ සේවය කරන වෘත්තීය හෙදියක වන අතර, ඇය දැඩි ලෙස හඬා වැටෙමින් ප්‍රකාශ කළේ තමන් රෝගීන් සුවපත් කරන හෙදියක වුවද, දියණිය අසලම හිඳිමින් උපරිමයෙන් සාත්තු කළත් ඇගේ ජීවිතය බේරා ගැනීමට තමන්ට නොහැකි වූ බවයි. පසුගිය 18 වැනිදා දෙණියාය රෝහලට ඇතුළත් කළ ඇය, තත්ත්වය අසාධ්‍ය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා 22 වැනිදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණු අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 23 වැනිදා අවසන් හුස්ම හෙළුවාය. වෛද්‍ය වාර්තාවලට අනුව මරණයට හේතුව වී ඇත්තේ ඩෙංගු රක්තාපාත උණ හේතුවෙන් ශරීරයේ බහු අවයව අකර්මණ්‍ය වීමයි.




සඳලිගේ මෙම අනපේක්ෂිත වෙන්වීම දරාගත නොහැකිව ඇගේ පෙම්වතා වන ශානික එස් ප්‍රසාද් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ සටහන ද දකින කාගේත් හදවත් කීරිගස්වන සුළුය.

 "මගෙ මැණික.. නිවන් සුව .කිසිම දේකට ඔයාගෙ ගමන නතර කරන්න බැරි උනත් ඩෙංගු කියන මේ ලෙඩෙ නිසා ඔයාට අද අපි හැමෝම තනිකරන්න පුළුවන් උනා."


 යනුවෙන් පවසන ඔහු, පවුලේ අය සහ හිතවතුන් ඇය වෙනුවෙන් පුළුවන් උපරිම දේ කළ බවත්, හැමෝම ඇයට හැමදාමත් ආදරය කරන බවත් සඳහන් කර තිබේ. මෙම වෙන්වීමෙන් තමන්ට අහිමි වූයේ පෙම්වතිය පමණක් නොව, ජීවිතයේ සතුට, සැනසීම මෙන්ම ශක්තිය ද වන බව පවසන ශානික, මෙම අඩුව ජීවිතය පවතින තුරා හිත්වල පවතිනු ඇති බව පවසා ඇත. 

"මේ ආත්මෙ බැරි උනත් ඊලග ආත්මෙ හරි අපේ හීන හැබෑවෙවි.. මගෙ රත්තරං පරිස්සමෙන් එතකම් ඉන්න බුදුසරණයි.. මේ අඩුව පුරවන්න කාටවත් බෑ.. හැමදාම මම ආදරෙයි සුදූ..." 


යනුවෙන් ඔහු තැබූ ආදරණීය මෙන්ම වේදනාකාරී සටහන දකිමින් බොහෝ පිරිසක් සිය ශෝකය පළ කරති.

ඇගේ අකල් වියෝව හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව මෙන්ම ඇගේ සමීපතම මිතුරන් ද දැඩි සේ කම්පනයට පත්ව සිටින අතර, මතු ආත්මයන්හිදී මෙවැනි අකල් මරණ සිදු නොවේවායි ඔවුහු ප්‍රාර්ථනා කරති. මෙම අවාසනාවන්ත නික්මයාම තුළින් වර්තමානයේ රට තුළ පවතින බියකරු ඩෙංගු වසංගත තත්ත්වය නැවත වරක් මනාව පසක් කර දෙයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සහ වසංගත රෝග විද්‍යා අංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 48,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. තවත් වටිනා තරුණ ජීවිතයක් ඩෙංගු රෝගයට බිලිවන තුරු බලා නොසිට, සියලුම විශ්වවිද්‍යාල පරිශ්‍රයන් මෙන්ම පොදු පරිසරය කේන්ද්‍ර කරගනිමින් විධිමත් පවිත්‍රතා සහ මර්දන වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇත.

an-emotional-note-from-ruhunu-university-sandalis-lover-who-succumbed-to-dengue



an-emotional-note-from-ruhunu-university-sandalis-lover-who-succumbed-to-dengue

an-emotional-note-from-ruhunu-university-sandalis-lover-who-succumbed-to-dengue