
තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අභිරහස් මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් රංගල සහ තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විධිමත් විමර්ශන ආරම්භ කර තිබේ. රංගල, උඩිස්පත්තුව, හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි විසිදෙහැවිරිදි තරුණියක ඝාතනය කර වගුරු බිමක සඟවා වළදමා තිබියදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරසේකර මුදියන්සේලාගේ හීංපිටගෙදර වාසනා සඳමාලි නමැති ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවකි.ලැබුණු විශේෂ තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කර තිබේ. ඉන් අනතුරුව නිසි මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගැනීමෙන් පසු වගුරු බිමේ වළදමා තිබූ තරුණියගේ දේහය ගොඩගැනීමට පොලීසිය පියවර ගත්තේය. සිද්ධිය සැලවීමත් සමඟ තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා මළ සිරුර හමුවූ ස්ථානයට පැමිණ මූලික ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබීය.
මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලී බණ්ඩාර මහත්මිය ලවා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එමෙන්ම ඒ පිළිබඳව සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද රංගල පොලිස් ස්ථානාධිපතිවරයාට මෙහිදී නියෝග කෙරිණි. මෙම සැකකටයුතු මරණයට හේතුව සහ ඒ පිටුපස ඇති සැබෑ පසුබිම අනාවරණය කරගැනීම සඳහා විශේෂ විමර්ශන මාලාවක් මේ වන විටත් දියත් කර තිබේ.
