a-constable-was-molested-at-the-jaya-sri-maha-bodhi-temple

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ දුරකථන සංවාද ඇතුළත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර ඇත. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ කොස්තාපල්වරිය තමාට සිදු වූ අතවරය සම්බන්ධයෙන් උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් සිදු කළ පැමිණිල්ලේ හඬපටය සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සිදු කිරීම මෙහි අරමුණ වී තිබේ.




මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇත්තේ උඩමළුව පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක චන්ද්‍ර සුමින්ද හේවා පතිනිගේ නමැති නිලධාරියෙකි. මේ වන විට ඇප මත මුදා හැර සිටින අදාළ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට එළඹෙන ජූලි මස 07 වැනි දින යළිත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.

අදාළ අතවරය සිදු වී ඇත්තේ 2023 වසරේ අගෝස්තු මස 01 වැනි දින වුවද, ඊට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉන් බොහෝ කාලයකට පසුව එනම් 2024 දෙසැම්බර් මස 02 වැනිදා වීම විශේෂත්වයකි.




මෙවැනි බරපතළ අපරාධ චෝදනාවකට ලක්වන පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීම සාමාන්‍ය පොලිස් පටිපාටිය වුවද, මෙම සැකකරු සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පොලිස් ප්‍රධානීන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවිධ නිලයන්හි පොලිස් නිලධාරීන්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ. සිද්ධියෙන් අනතුරුව මෙම නිලධාරියාව කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි ඇලයාපත්තුව පොලිසියට මාරු කර යවා ඇති අතර, නැවතත් මසක් ඇතුළත ඔහුව පෙර සිටි උඩමළුව පොලිසියටම කැඳවා ඇත. චෝදනාවට ලක්වූ නිලධාරියා තවදුරටත් එම පොලිස් ස්ථානයේම රාජකාරි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් තුළ දැඩි අප්‍රසාදයක් පවතින බව පෙන්වා දුන්නද, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි විරෝධතාවක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු වාර්තාවීමක් සිදුවී නොමැති බවයි.

a-constable-was-molested-at-the-jaya-sri-maha-bodhi-temple