2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය ඉන්දිකා කුමාරි ලියනගේ අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවේ සම්පූර්ණ විස්තරය පහත පරිදිය.
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල ජූනි මස 19 වන දින මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
මෙම විභාගය පෙබරවාරි මාසයේ 17 වන දා සිට 26 වන දා දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,547ක් ක්‍රියාත්මක වුණා. විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 3,82,480කුත්, පෞද්ගලික අයදුම්කරුවන් 79,239කුත් වශයෙන්, සම්පූර්ණ අයදුම්කරුවන් 4,51,719 දෙනෙකු ලියාපදිංචි වී සිටියා.
එයින් විභාගය සඳහා සැබවින්ම පෙනී සිටි සංඛ්‍යාව සැලකීමේදී, පාසල් අයදුම්කරුවන් 3,59,883ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 45,132ක් වශයෙන්, සම්පූර්ණ අපේක්ෂකයන් 4,05,015 දෙනෙකු විභාගයට පෙනී සිටියා.
මෙම විභාගයේදී ප්‍රථම වතාවට, විෂයන් පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 3,08,562ක් වන අතර, එය විභාගයට පෙනී සිටි සමස්ත පිරිසෙන් 99.91%ක් වෙනවා. ඒ අතරින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 2,25,748ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16%ක්.
සියලුම විෂයන් සඳහා 'A' සාමාර්ථ ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.7ක්. ඒ වගේම, පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙකුත් සියලුම විෂයන් සඳහා 'A' සාමාර්ථ ලබාගෙන තිබෙනවා. ඒ අනුව, සියලුම විෂයන් සඳහා 'A' සාමාර්ථ ලබාගත් සම්පූර්ණ අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් වන අතර, එය පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන් සියල්ලන්ගෙන්ම ප්‍රතිශතයක් වශයෙන් 3.57%ක් වෙනවා.
එමෙන්ම සියලුම විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් සිටින බව කියන්නට ඕන. පාසල් අයදුම්කරුවන් අතරින් පළමුවැනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419 දෙනෙකු සියලුම විෂයන් අසමත් වී තිබෙනවා. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 2.36%ක්. පසුගිය වසරෙත් මෙම විභාගයේදී මෙන්ම සියලුම විෂයන් අසමත් වූ දරුවන්ගේ සංඛ්‍යාව මෙයට ආසන්න අගයක් ගත්තා. පළාත් මට්ටමින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ දරුවන්ගේ ප්‍රතිශතයන්:
දකුණු පළාත: 75.56%
බස්නාහිර පළාත: 74.42%
නැගෙනහිර පළාත: 74.42%
සබරගමු පළාත: 74.31%
මධ්‍යම පළාත: 73.98%
ඌව පළාත: 71.34%
වයඹ පළාත: 70.69%
උතුරු පළාත: 70.00%
උතුරු මැද පළාත: 68.39%
සියලුම පළාත් ඇතුළත්ව, පළමුවැනි වතාවට විභාගයට පෙනී සිටි දරුවන් අතරින් උසස්... පෙළ සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාවේ සමස්ත ප්‍රතිශතය 73.16%ක් වෙනවා. විෂයන් මට්ටමින් සමත් වීමේ ප්‍රතිශතයන්:
ඉස්ලාම් ආගම: 89.56%
කතෝලික ආගම: 89.10%
දෙමළ භාෂාව හා සාහිත්‍යය: 87.60%
සිංහල භාෂාව හා සාහිත්‍යය: 87.03%
ක්‍රිස්තියානි ආගම: 86.35%
බුද්ධ ධර්මය: 84.81%
ශෛව ධර්මය: 84.34%
ඉතිහාසය: 81.93%
ඉංග්‍රීසි භාෂාව: 73.57%
ගණිතය: 72.03%
විද්‍යාව: 70.11%
මෙවර විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතරින් විද්‍යාව සහ ගණිතය විෂයන් සඳහා පසුගිය වර්ෂයට වඩා දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මෙවර විද්‍යාව සමත් ප්‍රතිශතය 70.11%ක් වන අතර, පසුගිය 2022 සාමාන්‍ය පෙළ විභාගයේදී එම ප්‍රතිශතය තිබුණේ 69.07%ක් විදිහටයි. ඒ වගේම, 2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සමත් ප්‍රතිශතය 72.03%ක් වනවා. 2022 වර්ෂයේ ගණිතය විෂය සමත් ප්‍රතිශතය තිබුණේ 71.6%ක්.
කැපී පෙනෙන ආකාරයට මෙවර දෙවන බස දෙමළ සහ දෙවන බස සිංහල යන විෂයන් දෙකෙහිම සමත් වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. මෙවර දෙවන බස දෙමළ විෂය සමත් ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 97.51%ක් වන අතර, පසුගිය වර්ෂයේ එය පැවතුණේ 95.71%ක් වශයෙන්. ඒ වගේම, දෙවන බස සිංහල විෂය සඳහා 2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය 91.3%ක් වනවා. පසුගිය 2022 විභාගයේදී එය වාර්තා වුණේ 90.21%ක් වශයෙන්.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් දරුවන්ට බලාගන්නටත්, ප්‍රතිඵල භාගත (download) කරගන්නටත් පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි හරහා ප්‍රතිඵල බලාගැනීමටත්, ඒවා භාගත කරගැනීමටත් හැකියාව පවතිනවා.
එමෙන්ම, සියලුම විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඔවුන්ට ලබා දී තිබෙන පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) භාවිතා කරමින්, තම පාසලට අදාළ විභාග ප්‍රතිඵල ලේඛනය භාගත කරගන්නට හැකියාව තිබෙනවා. එමෙන්ම, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටද තමන්ට ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් ප්‍රතිඵල භාගත කරගැනීමේ හැකියාව පවතිනවා.
මීට අමතරව, මෙම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය (Re-scrutiny) සඳහාද අපි අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව, මෙම ජූනි මස 25 වන දා සිට ජූලි මස 8 වන දා දක්වා කාලය තුළ මාර්ගගත (Online) ක්‍රමයට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා.
මෙවර විශේෂයෙන්ම අපි විභාගයෙන් දිවයිනේ කුසලතා ලබාගත් සිසුන්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මෙම විභාගය ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශයේ 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය අවසන් කළ සිසුන්ගේ සාධන මට්ටම මූලික නිර්ණායකයන්ට අනුව පරීක්ෂා කිරීමේ විභාගයක් ලෙස පවත්වන නිසාත්, උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබන දරුවන් තෝරාගැනීමට එම දරුවන්ට තීරණයක් ගැනීමට මෙය පවත්වන නිසාත්, විභාග දෙපාර්තමේන්තුව ලෙස අප ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්නේ නැහැ.
විභාග ප්‍රතිඵල සහතික ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත (Online) ක්‍රමයට අයදුම් කර, සහතික නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම අපි සලසා තිබෙනවා. සියලුම අපේක්ෂකයන්ට තමන්ගේ නිල විභාග ප්‍රතිඵල සටහන ලබාගැනීමට අවශ්‍ය නම්, මෙම මාර්ගගත පහසුකම භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා සහතික පත්‍ර අයදුම් කොට, ඒවා තැපැල් මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගන්නා ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. සහතික ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ; එම මාර්ගගත පහසුකම භාවිතා කරන ලෙස මම දරුවන්ට මතක් කර සිටිනවා.
මා මේ අවස්ථාව උපයෝගී කරගන්නවා මෙම විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගෙන, උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලැබීමට සුදුසුකම් ලැබූ සියලුම දරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නට. එමෙන්ම, කිසියම් විෂයක් හෝ විෂයන් සියල්ලම අසමත් වූ දරුවන් පිරිසක්ද මේ අතර සිටිනවා. එම දරුවන්ට මා කියන්නේ මෙයින් කිසිසේත්ම අධෛර්යයට පත් වෙන්න එපා කියලයි. ඔබ දිනපතා පාසල් පැමිණීම ඉතාම වැදගත්. දිනපතා පාසල් පැමිණ, උගන්වන විෂය කරුණු ඉතා හොඳින් අධ්‍යයනය කර, නැවත වාරයක් විභාගයට පෙනී සිටීමට අධිෂ්ඨාන කරගන්න. ලබන වසරේ එම විභාගය සාර්ථකව සමත් වීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබට ලැබෙන්නැයි කියා මම ඒ දරුවන්ටත් ප්‍රාර්ථනා කරනවා.
එමෙන්ම, මෙම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම කටයුතු ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපව නිතරම දිරිමත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරණි අමරසූරිය මැතිනියටත්, එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කරුණාරත්න මැතිතුමාටත් මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම, මෙම විභාගය දිවයින පුරා පැවැත්වීමට සහාය දැක්වූ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත්, මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා කැපවුණු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අතිරේක විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සියලුම විභාග කොමසාරිස්වරුන්, නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන්, සහකාර විභාග කොමසාරිස්වරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා.
එමෙන්ම, විභාගය පැවැත්වීමේදී සියලුම විභාග මධ්‍යස්ථාන සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා පොලිස් ආරක්ෂාව ලබා දුන් ශ්‍රී ලංකා පොලීසියටත්, විවිධ අයුරින් සහාය දැක්වූ ත්‍රිවිධ හමුදාවටත්, ආපදා අවස්ථාවලදී නිරතුරුවම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා ඇතුළු විවිධ අංශවලටත්, මෙම විභාග කටයුතු සාර්ථක කරගැනීම සඳහා දැක්වූ සහයෝගය වෙනුවෙන් මේ අවස්ථාවේදී මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා. බොහොම ස්තූතියි.
----------------------
මෙම සාකච්ඡාවට පැමිණි මාධ්‍යවේදීන් සමග විභාග කොමසාරිස්වරිය සිදු කළ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පහත පරිදිය.
ප්‍රශ්නය: මැඩම්, නැවත සමීක්ෂණ (Re-scrutiny) කටයුතු සිදුවන්නේ කොහොමද?
පිළිතුර: ඔව්, නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ හැක්කේ මාර්ගගත (Online) ක්‍රමයටයි. ජූනි මාසයේ 25 වන දා සිට ජූලි මාසයේ 8 වන දා දක්වා තමයි ඒ සඳහා කාලය තිබෙන්නේ. එම කාලසීමාව කිසිසේත්ම දීර්ඝ කරන්නේ නැති බවත් මේ අවස්ථාවේදී අයදුම්කරුවන්ට මතක් කර සිටිනවා. ඒ නිසා මාර්ගගත ක්‍රමයටම පමණක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුයි.
ප්‍රශ්නය: ප්‍රතිඵල අත්හිටුවීම් තිබෙනවා නේද?
පිළිතුර: ඔව්, ප්‍රතිඵල අත්හිටුවීම් යම් ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම දරුවන් විභාගයට පෙනී සිටීමේදී තමන්ගේ අනන්‍යතා පත්‍රය රැගෙන නොයෑම ඊට එක් හේතුවක්. නිසි අනන්‍යතා පත්‍රයක් නොමැතිව විභාග මධ්‍යස්ථානවල විභාග සඳහා පෙනී සිටීම, එමෙන්ම විභාග අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු විභාග නීති රීති පිළිබඳව විභාගය ආරම්භ වීමට පෙර මාධ්‍ය මගින් අපි දැනුවත් කරනවා. විදුහල්පතිවරුන් මෙන්ම විභාග මධ්‍යස්ථානවල ශාලාධිපතිවරුන්ද මේ පිළිබඳව දරුවන්ව දැනුවත් කරනවා.
එවැනි දැනුවත් කිරීම් තිබියදීත්, විභාග නීති රීති උල්ලංඝනය කරමින් ජංගම දුරකථන හෝ සටහන් ළඟ තබා ගැනීම, අනෙක් අය සමඟ ප්‍රශ්න පත්‍ර හෝ පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම ආදී විභාග වංචාවල නිරත වීම හේතුවෙන් මෙම දරුවන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වී තිබෙන බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි. සම්පූර්ණ ප්‍රතිඵලම අත්හිටුවූ දරුවන් සංඛ්‍යාව 314ක් වන අතර, විවිධ විභාග වංචා සහ වෙනත් හේතු මත තවත් දරුවන් 134 දෙනෙකුගේ එක් විෂයක හෝ විෂයන් කිහිපයක ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
ප්‍රශ්නය: දැන් මේ දිගින් දිගටම එල්ල වන චෝදනාවක් තමයි, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට මෙවර වැඩි කාලයක් ගත වුණා කියන එක. ඇත්තටම එහෙම ප්‍රමාදයක් සිද්ධ වුණාද? නැත්නම් වෙනදා වගේමද වුණේ? මොකක්ද ඇත්තටම එතන වුණේ?
පිළිතුර: ඇත්තටම විභාග ප්‍රතිඵල ලබා දීමේදී කිසිදු ප්‍රමාදයක් සිදු වී නොමැති බව ප්‍රකාශ කළ යුතුයි. සාමාන්‍යයෙන් සාමාන්‍ය... පෙළ විභාගයක ප්‍රතිඵල නිකුත් කිරීමට මාස හතරක පමණ කාලයක් ගත වන අතර පසුගිය වර්ෂවලදීත් එසේ සිදු වී තිබෙනවා. නමුත් මෙවර අපි ඊයේ වන විට ප්‍රතිඵල නිකුත් කරන විට විභාගය පවත්වා ගත වී තිබුණේ මාස 3යි දින 21ක් පමණයි. ඒ නිසා විශේෂ ප්‍රමාදයක් සිදු වී නැහැ.
මොකද, මෙම විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු ඉතාමත් නිවැරදිව, සියලුම අපේක්ෂකයන්ට සාධාරණයක් වන අයුරින් විශාල ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි සිදු කරන්නේ. ඒ සඳහා නියමිත කාලයක් ගත වන අතර, එම සියලුම ක්‍රියාවලීන් සම්පූර්ණ කර ගැනීමට ගත වූ කාලය හැරුණු විට කිසිදු විශේෂ ප්‍රමාදයක් සිදුව නැති බව මේ වෙලාවේ මතක් කර සිටිනවා.
ප්‍රශ්නය: අපට ලැබුණු සමහර තොරතුරුවලට අනුව දැනගන්න ලැබුණා, විභාගයට පෙනී සිටින දරුවන් අවසන් මොහොතේ විභාග මධ්‍යස්ථාන මාරු කිරීමට උත්සාහ කිරීම නිසා ඔබතුමන්ලා දැඩි අපහසුතාවයට පත්වන බව. ඇත්තටම එහෙම තත්ත්වයක් ඇති වෙනවාද?
පිළිතුර: ඔව්, ඇත්තටම විභාග අපේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම අපි යම් සහන කාලසීමාවක් ලබා දෙනවා. ඔවුන්ගේ විෂය අංක, විභාගයට පෙනී සිටින විෂයන් හෝ මාධ්‍යයන්හි කිසියම් වෙනසක් හෝ වැරදීමක් තිබේ නම්, ඒ සියල්ල සංශෝධනය කරගැනීමට පාසල් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ටත් එම කාලය හිමි වෙනවා. එමෙන්ම සාධාරණ හේතුවක් මත විභාග මධ්‍යස්ථානය මාරු කිරීමට අවශ්‍යතාවක් තිබේ නම්, විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව අපි ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පහසුකම් සලසා දෙනවා.
නමුත් එසේ තිබියදීත්, සමහර අපේක්ෂකයන් ඉතා නොසැලකිලිමත් ලෙස කටයුතු කරනවා. විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර ප්‍රවේශ පත්‍රය යවා තිබුණත්, එය කියවා බලා අවධානය යොමු නොකර, විභාගය පවත්වන දින උදෑසන ශාලාවට ගොස් "මා ලියන විෂය හෝ මාධ්‍ය මෙය නොවෙයි" කියමින් වෙනත් විෂයන් ඉල්ලා සිටින අවස්ථා තිබෙනවා. ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි එවැනි තත්ත්වයන් මතු වෙන්නේ.
එමෙන්ම කිසිදු අනුමැතියකින් හෝ විභාග දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකින් තොරව තමන්ට නියමිත නොවන විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටින දරුවන්ද සිටිනවා. දරුවන් මෙලෙස විභාග උපදෙස් පිළි නොපැදීම නිසා, ප්‍රතිඵල සකස් කිරීමේදී ඒවා නැවත සොයා බලා නිවැරදි කිරීමට විශාල කාලයක් ගත කිරීමට සිදු වෙනවා.
ඒ නිසා මා මේ අවස්ථාවේදී මතක් කර සිටින්නේ, අප ලබා දෙන සහන කාලසීමාවෙන් පසුව මධ්‍යස්ථාන මාරු කිරීම, විෂයන් හෝ විෂය අංක මාරු කිරීම මෙන්ම ඉල්ලුම් නොකළ විෂයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව ඉල්ලීම වැනි දේ මින් ඉදිරියට සිදු කළහොත්, ඔවුන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බවයි. සියලුම අපේක්ෂකයන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ප්‍රශ්නය: දැන් ඔබතුමියම සඳහන් කළා විභාග ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අත්හිටුවපු පිරිසකුත් ඉන්නවා කියලා. ඉදිරියට විභාගවලට මුහුණ දීමට සිටින දරුවන්ට මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
පිළිතුර: ඇත්තටම මේ දරුවන්ට ලබා දිය යුතු පණිවිඩය තමයි, විභාග මධ්‍යස්ථානයකදී අනුගමනය කළ යුතු නීති රීති මෙන්ම විභාගයට පැමිණීමේදී රැගෙන ආ යුතු දෑ පිළිබඳව අවධානය යොමු කිරීමයි. විශේෂයෙන්ම තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය (Passport) යන පිළිගත් අනන්‍යතා පත්‍රයක් අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි.
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ජාතික හැඳුනුම්පත සකස් කරගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් පහසුකම් සලසා තිබෙනවා. නමුත් ඒ පිළිබඳව අවධානය යොමු නොකර, සමහර අපේක්ෂකයන් මෙවර විභාගයේදී ජාතික හැඳුනුම්පතක් නොමැතිව විභාගයට පෙනී සිට තිබෙනවා. ඒ නිසා විභාගයට පෙර තමන්ගේ ජාතික හැඳුනුම්පත සකස් කරගන්නා ලෙසත්, විභාග දෙපාර්තමේන්තුව අනුමත කරන ලද අනන්‍යතා පත්‍රයක් රැගෙන විභාග ශාලාවට යන ලෙසත් මම මතක් කර සිටිනවා.
එමෙන්ම විභාගයට පෙර ප්‍රවේශ පත්‍රයේ තම අත්සන සහතික කරවා ගැනීම අත්‍යවශ්‍යයි. ප්‍රවේශ පත්‍රයේ පසුපිට දක්වා ඇති උපදෙස් පරිදි අනන්‍යතාව මෙන්ම අත්සනද තහවුරු කරගත යුතු වුවත්, එසේ නොකර විභාගයට පැමිණීම නිසාද ප්‍රතිඵල අත්හිටුවීම් සිදු වී තිබෙනවා. ඒ නිසා ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කරවා ගැනීම සහ පිළිගත් අනන්‍යතා පත්‍රයක් රැගෙන යාම අනිවාර්යයි.
මීට අමතරව විභාග ශාලාවට රැගෙන යා යුත්තේ ලිවීමට අවශ්‍ය පෑන්, පැන්සල් සහ මකන (Eraser) පමණක් වන අතර, මකන දියර (Correction fluid), ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන හෝ වෙනත් සටහන් කිසිසේත්ම රැගෙන නොයන ලෙස අපි හැම විභාගයකදීම මතක් කර සිටිනවා. පාසල් මට්ටමින් විදුහල්පතිවරුන් සහ විභාග ශාලාවේදී ශාලාධිපතිවරුන් මේ පිළිබඳව දැනුවත් කළත් සමහර අපේක්ෂකයන් නීති රීති කඩ කරනවා. ඉදිරි විභාගවලට පෙනී සිටින සියලුම අපේක්ෂකයන් මෙවැනි ගැටලුවලින් තොරව, ලබා දෙන සියලු උපදෙස් නිසි පරිදි පිළිපදිමින් විභාගයට මුහුණ දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය: උසස් පෙළ (A/L) විභාගය ගැනත් අපට කුඩා දැනුම්දීමක් කරන්න පුළුවන්ද?
පිළිතුර: ඔව්, 2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වන දා සිට සැප්තැම්බර් මස 5 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ සඳහා වන විභාග කාලසටහනද මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එම විභාගය නියමිත පරිදිම විධිමත්ව පැවැත්වීමට නියමිතයි.
ඒ වගේම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් අගෝස්තු මස 9 වන දින දිවයින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 12 ශ්‍රේණියේ දරුවන් සඳහා වන තොරතුරු තාක්ෂණ විභාගය (GIT) ඔක්තෝබර් මස 24 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඊළඟ සාමාන්‍ය පෙළ විභාගය මෙම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 8 වන දා සිට 17 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන අයදුම්පත් කැඳවීම ජූලි මාසයේ පළමුවැනි සතියේ සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මම හිතනවා ඒ තොරතුරු ප්‍රමාණවත් වෙයි කියලා. අපිට එහෙම හිතන්න පුළුවන්.
