
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා පැවැති රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කිරීම සහ එහි සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන සිද්ධීන්ට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පසුගිය මැයි මස 19 වනදාට යෙදී තිබූ රණවිරු දිනය වෙනුවෙන් වූ පුහුණුවීම් කටයුතු ඊට පෙර දින, එනම් මැයි මස 18 වන දින සවස් කාලයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරක භූමියේදී සංවිධානය කර තිබුණි. එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් රණවිරුවන් සැමරීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් එහි පැවැති පෙරහුරු කටයුතුවලට බාධාවක් වන අයුරින් අයුතු ලෙස ඇතුළු වී කළහකාරී ලෙස හැසිරී ඇති බවට පොලිසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන මහතා විසින් පොලිසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ තලංගම පොලිසිය, පසුගිය 20 වනදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ද මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමට පියවර ගත්තේය.
විමර්ශන කටයුතුවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය සිකුරාදා දින පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස වීරවංශ මහතාට දැනුම් දී තිබුණ ද, එදින පැමිණීමට නොහැකි බව දන්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ අද (25) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින බවයි. ඒ අනුව අද පෙරවරුවේ තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි හිටපු මන්ත්‍රීවරයාගෙන් පොලිස් නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, ඉන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා අද දිනයේදීම කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
