කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ (DRC) සිට පැමිණෙන හෝ එම රට හරහා ගමන් කරමින් තායිලන්තයට ඇතුළු වන සියලුම මගීන් සඳහා අවම වශයෙන් දින 21 ක නිරෝධායන කාලසීමාවක් අනිවාර්ය කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ. කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළද මෙම නිරෝධායන නීතිය අදාළ වන අතර, මෙය තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුව (DDC) වෙත උපදෙස් දෙන තාක්ෂණික කමිටුවක් විසින් හඳුන්වා දී ඇති දැඩි ඉබෝලා නිවාරණ වැඩපිළිවෙළෙහි එක් පියවරකි.
රෝග පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මොන්ටියන් කනසවාඩ්සේ (Dr. Montien Kanasawadse) ප්‍රකාශ කරන පරිදි, කොංගෝව සහ උගන්ඩාව ආශ්‍රිතව පැතිර යන 'බුන්ඩිබුග්යෝ' (Bundibugyo) වෛරසය මගින් ඇතිවන ඉබෝලා තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය මැයි 17 වැනිදා ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම වෛරස් ප්‍රභේදය සඳහා මෙතෙක් නිල වශයෙන් අනුමත කළ එන්නතක් හෝ ප්‍රතිකාරයක් නොමැති වීමත්, කොංගෝව තුළ රෝග ව්‍යාප්තිය නරක අතට හැරෙමින් පැවතීමත් හේතුවෙන් තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම අධි අවදානම් කලාපවල සිට පැමිණෙන මගීන් නිරීක්ෂණය කිරීම දැඩි කර තිබේ.
පසුගිය මැයි 22 වැනිදා වන විට, ඉබෝලා අවදානම පවතින කලාපවල සිට තායිලන්තය වෙත මගීන් 10 දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වී ඇත. ඉන් අට දෙනෙකු උගන්ඩාවෙන් ද, දෙදෙනෙකු කොංගෝවෙන් ද පැමිණි අය වෙති. ගුවන් තොටුපළේදී සිදු කළ පරීක්ෂාවලදී ඔවුන් කිසිවෙකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොතිබුණද, බලධාරීන් විසින් ඔවුන් සියලු දෙනාම දින 21 ක කාලයක් සඳහා අඛණ්ඩ සෞඛ්‍ය නිරීක්ෂණයකට ලක් කර ඇත. ඒ යටතේ දෛනිකව සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා කිරීම එම මගීන්ට අනිවාර්ය කර තිබේ.
උගන්ඩාව සහ කොංගෝව වැනි අනතුරුදායක බෝවන රෝග පවතින කලාප වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරයන් සිදු කිරීමෙන් වළකින ලෙස ද වෛද්‍ය මොන්ටියන් තායිලන්ත ජාතිකයින්ගෙන් ඉල්ලා සිටියි. යම් හෙයකින් එම රටවල සිට යළි පැමිණෙන අයෙකුට උණ හෝ වෙනත් අසාමාන්‍ය රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතු අතර, තම සංචාරක ඉතිහාසය වෛද්‍යවරුන්ට නිවැරදිව දැනුම් දීම ද අතිශය වැදගත් වේ.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන මගීන් දින 21 ක කාලයක් සඳහා නම් කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානයක හුදෙකලා කිරීමටත්, රෝග ලක්ෂණ නොමැති මගීන් පවා දැඩි නිරීක්ෂණයට ලක් කිරීමටත් අදාළ යෝජනා මේ වන විටත් බෝවන රෝග පනත යටතේ පවතින තාක්ෂණික කමිටුව වෙත ඉදිරිපත් කර ඇත. මෙම රෝග නිවාරණ පියවරයන් ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා තායිලන්ත රෝග පාලන දෙපාර්තමේන්තුව ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
