ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයට දැඩි චෝදනා එල්ල කර සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ මීට මාස විස්සකට පමණ පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් ආණ්ඩුවට බලය පවරන අවස්ථාවේදී රුපියල් 292ක් ලෙස පැවති ඩොලරයේ අගය මේ වන විට රුපියල් 354 දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට වත්මන් රජය අපොහොසත් වීම, නිසි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට නොහැකි වීම ඩොලරය මෙලෙස වේගයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව එම පක්ෂය අවධාරණය කරයි.දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මතුව ඇති දැඩි පීඩනයන් හමුවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි පෞද්ගලික අංශයද දැඩි කනස්සල්ල පළ කර තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ වාසිය මත ඇතැම් අපනයන කර්මාන්ත විශාල ලාභයක් ඉපයුවද, ඒ හරහා රටේ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වැඩකරන ජනතාව මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.
ඇඟලුම් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවල අපනයනකරුවන් සිය අපනයන ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වුවද, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින හැකිලීමේ ස්වභාවය ඔවුන්ගේ සැලකිල්ලට ලක්ව නොමැති බවද මෙහිදී ප්‍රකාශ වී ඇත. විශේෂයෙන්ම යුරෝපීය වෙළෙඳපොළවල් දැඩි පීඩනයකට ලක්ව ඇති අතර ඔවුන් සිය ආනයන සීමා කිරීම සඳහා විකල්ප ක්‍රමවේද සොයමින් සිටියි. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට ආර්ථික පාලනයට වඩා ඉරානය න්‍යෂ්ටික අවි භාවිතයට යොමු වීම වැළැක්වීම කෙරෙහි සිය ප්‍රධාන අවධානය යොමු කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම සහ රතු මුහුදේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා නිසා නැව් ගාස්තු තවදුරටත් ඉහළ යනු ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවන බව පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතරතුර, රුපියල අවප්‍රමාණය වීම ධනාත්මක කාරණයක් ලෙස සමාජයට පෙන්වා දෙන ලෙස අමාත්‍ය අනිල් ජයන්ත මහතා විවිධ සංවිධානවලින් ඉල්ලීම් කර ඇති බවටද එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. අමාත්‍යවරයාගේ මෙම බලපෑම මත බොහෝ සංවිධාන මේ පිළිබඳව නිහඬව සිටීමට තීරණය කර ඇති අතර, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අමාත්‍යවරයාගේ අදහස අනුමත කරමින් මුදල් ඒකකය අවප්‍රමාණය වීම සිය කර්මාන්තයට ධනාත්මක ලකුණක් බව ප්‍රකාශ කර තිබේ.
