warrants-again-for-basil

ඉකුත් 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ සමයේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. මෙම නියෝගයට අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව එම කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් යන මහත්වරුන් ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.




නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස පොදු දේපළ පනත යටතේ සැකකරුවන් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දෙනු ලැබීය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටින නිවෙස් වෙත ගියද, එම අවස්ථාවන්හිදී ඔවුන් එහි රැඳී සිට නොමැති බවයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම සැකකරුවන්ට විදේශගත වීම වළක්වමින් සංචාරක තහනමක් ද පැනවීමට නියෝග කළේය. මෙම නියෝගය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමටද අධිකරණය කටයුතු කර ඇත.




සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් 2014 වසරේදී අදාළ කාර්යාංශයේ ප්‍රතිපාදන යොදවා ටීෂර්ට් දොළොස් දහසක් මුද්‍රණය කර ඇති බවත්, එහි එක් පසෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ අනෙක් පසෙහි දේශපාලන පක්ෂයක නාමය සටහන් කර තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කළේය. මෙලෙස මුද්‍රණය කරන ලද ටීෂර්ට් තොගය ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැති දේශපාලන වැඩසටහනක් සඳහා බෙදා හැර ඇති බවද පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.