
අනුරාධපුර ප්‍රදේශයේ දරුවෙකුට එරෙහිව සිදුවූ බව කියන ලිංගික හිංසන සිදුවීම හුදෙක් එක් නඩුවකට පමණක් සීමා නොවූවක් බවත්, එය සමස්ත ශ්‍රී ලාංකීය අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියම අවදානමට ලක්වූ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මෙන්ම සාධාරණත්වය සහ සමානාත්මතාවය තහවුරු කිරීමට ඊට ඇති හැකියාව උරගා බලන අවස්ථාවක් බවත් ජාතික කාන්තා කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වින්දිත දරුවාට යළිත් වරක් සමාජයෙන් හෝ නීතියෙන් දෝෂාරෝපණ එල්ල වීම වළක්වා, ස්වාධීන මෙන්ම අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා යුක්තිය ඉටුකිරීමේ වැදගත්කම එම කොමිසම විසින් දැඩිව අවධාරණය කර ඇත.
මෙම සිදුවීමට අදාළව දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) මේ දක්වා ගෙන ඇති පියවරයන් ඇගයීමට ලක් කරන කොමිසම, ඉදිරි නීතිමය ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට සුවිශේෂී වගකීමක් පැවරෙන බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම, දෙමාපියන්ට හෝ භාරකරුවන්ට දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි පසුබිමක් තුළ, දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ස්වාධීන නීතිමය නියෝජනයක් ලබා දීම අත්‍යවශ්‍ය බව කොමිසමේ අදහස වී තිබේ.
අපයෝජනයට ලක්වන ඕනෑම දරුවෙකුට නීතිය ඉදිරියේ සමානව සැලකුම් ලැබීමට සහ ගෞරවාන්විතව යුක්තිය අපේක්ෂා කිරීමට අයිතියක් ඇති අතර, එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 27(13) වගන්ති මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හරහා ද තහවුරු කර ඇත. මීට අමතරව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 24 වන වගන්තිය සහ 2007 ICCPR පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව, වෙනස්කම් කිරීමකින් තොරව රජයේ නීති ආධාර ලැබීමට දරුවන්ට අයිතියක් පවතින බවත්, දරුවන් සම්බන්ධ සියලු තීරණවලදී දරුවාගේ උපරිම යහපතට ප්‍රමුඛස්ථානය දිය යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
දරුවා තවදුරටත් මානසික කම්පනයට, බියගැන්වීම්වලට හෝ මහජන නිරාවරණයට ලක්වීම වළක්වාලමින් අඛණ්ඩව මනෝ සමාජීය සහ නීතිමය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස කාන්තා කොමිෂන් සභාව ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටී. එසේම, කිසිදු බාහිර බලපෑමකින් තොරව විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිසියට දැනුම් දෙන කොමිසම, 2023 අංක 10 දරන අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙයි. ඒ යටතේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ සාක්ෂි ලබාගැනීම, වෛද්‍ය පරීක්ෂණ සඳහා කාන්තා වෛද්‍යවරියන් යොදාගැනීම සහ විමර්ශන කටයුතු සඳහා උපරිමයෙන් කාන්තා නිලධාරිනියන් අනුයුක්ත කිරීම ආදී ක්‍රියාමාර්ග ඔස්සේ වින්දිතයින්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බව ඔවුහු යෝජනා කරති.
සිද්ධියේ ඇති අතිශය සංවේදී ස්වභාවය සලකා බලා, දරුවාගේ සුරක්ෂිතභාවය සහ යහපැවැත්ම වෙනුවෙන් සමස්ත විමර්ශන ක්‍රියාවලියම නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයට ලක්විය යුතු බව කොමිසම අවධාරණය කර සිටී. එසේම, දරුවාගේ අනාගතයට, පෞද්ගලිකත්වයට සහ ගෞරවයට හානි පමුණුවන ආකාරයේ තොරතුරු හෙළිදරව් කිරීම්වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ජනමාධ්‍ය ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ මහජනතාවගෙන් දැඩි ඉල්ලීමක් ද කර ඇත. කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ රාජ්‍ය හා සිවිල් ආයතන සමඟ එක්ව මෙම නඩුවේ ප්‍රවණතාවයන් ජාතික කාන්තා කොමිෂන් සභාව විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබන බව අදාළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.
