
කාන්තාවන් සහ ගැහැණු ළමයින් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අන්තර්ජාලයට මුදාහැරෙන අතිශය පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ (revenge porn) පැතිරීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය සහ පණිවුඩ හුවමාරු වේදිකා ඉලක්ක කරගත් නව මාර්ගෝපදේශ මාලාවක් එක්සත් රාජධානියේ විදුලි සංදේශ නියාමකයා වන Ofcom විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව රෙගුලාසි හරහා සේවා සපයන්නන්ට සිය වේදිකාවන් තුළ සිදුවන මෙවැනි අනිසි භාවිතයන් මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ දෘශ්‍ය අන්තර්ගතයන් (deepfakes) හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීමට දැඩිව බල කෙරෙනු ඇත.
මෙම ගැටලුව වඩාත් උග්‍ර තත්ත්වයකට පත්වූයේ පසුගිය වසරේ අගභාගයේදී ඉලොන් මස්ක්ගේ Grok AI තාක්ෂණය භාවිත කරමින් කාන්තාවන්ගේ ලිංගිකත්වය ඉස්මතු කෙරෙන වීඩියෝ නිර්මාණය කිරීමේ රැල්ලක් මතුවීමත් සමගය. තම අවසරයකින් තොරව අන්තර්ජාලයට මුදාහැර ඇති මෙවැනි පීඩාකාරී ඡායාරූප සහ වීඩියෝ පොදු වෙබ් අඩවිවලින් ඉවත් කරගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවට කාන්තාවන් දීර්ඝ කාලයක සිට මැසිවිලි නගමින් සිටි අතර, උත්පාදක කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ (generative AI) වර්ධනයත් සමග මෙම තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බව නියාමන අධිකාරිය පෙන්වා දෙයි.
Ofcom ආයතනය කාන්තාවන් ආරක්ෂා කිරීමේ තම වගකීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් 'End Violence Against Women' නමැති සංවිධානය විසින් නීතිමය පියවර ගන්නා බවට කළ අනතුරු ඇඟවීමකින් පසුව මෙම නව නීතිරීති හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මෙම මාර්ගෝපදේශයන්ට අනුව නිරුවත, ලිංගික ක්‍රියා, යට ඇඳුම්වලින් පමණක් ආවරණය වූ ශරීර අංග හෝ පුද්ගලයෙකු වැසිකිළි භාවිතා කරන අවස්ථා දැක්වෙන ඡායාරූප, අතිශය පෞද්ගලික ඡායාරූප ලෙස වර්ගීකරණය කර තිබේ.
මෙය රජය විසින් වහාම මුහුණ දිය යුතු "ජාතික හදිසි තත්ත්වයක්" ලෙස එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළ අතර, පැය 48ක් ඇතුළත මෙවැනි අන්තර්ගතයන් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම් එක්සත් රාජධානිය තුළ අවහිර කිරීමේ අවදානමකට මුහුණ දෙනු ඇති බවද පැවසීය. මෙම නීතිවිරෝධී ඡායාරූප හඳුනාගෙන ඒවා තවදුරටත් අන්තර්ජාලය පුරා පැතිරීම වළක්වාලීම සඳහා "hash-matching" නමැති තාක්ෂණය භාවිතා කරන ලෙස Ofcom විසින් අදාළ වෙබ් අඩවිවලට මේ වනවිටත් උපදෙස් ලබා දී ඇත.
විශේෂයෙන්ම විශ්වවිද්‍යාල නේවාසිකාගාර වැනි ස්ථාන පදනම් කරගනිමින් කාන්තාවන්ගේ අනවසර ඡායාරූප හුවමාරු කරගන්නා අන්තර්ජාල සංසද පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර, එය බරපතල ආරක්ෂක අවදානමක් නිර්මාණය කර ඇත. එක්සත් රාජධානියේ තාක්ෂණික ලේකම් ලිස් කෙන්ඩල් විසින් වින්දිතයන් මුහුණ දෙන මෙම තත්ත්වය "කෙළවරක් නැති බියකරු සිහිනයක්" ලෙස හැඳින්වූ අතර, කිසිදු නිදහසට කරුණක් නොමැතිව දැනට පවතින තාක්ෂණය වහාම යොදාගෙන මෙම නීතිවිරෝධී ක්‍රියා ස්ථිරවම නතර කළ යුතු බව අවධාරණය කළාය. අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලියෙන් අනතුරුව මෙම නව නීති පද්ධතිය එළඹෙන ශරත් සෘතුවේදී බලාත්මක වීමට නියමිතය.
