ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවය (US Post) වෙත ගෙවිය යුතුව තිබූ අමෙරිකානු ඩොලර් හය ලක්ෂ විසි හයදහසකට අධික මුදලක් ව්‍යාජ ඊමේල් පණිවුඩ පදනම් කරගනිමින් තෙවන පාර්ශවයකට බැහැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (06) කරුණු අනාවරණය කළේය.
මෙම මූල්‍ය වංචාව සිදුව ඇත්තේ ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපින තුනක් හරහා ලැබුණු තොරතුරු මත බවත්, විදේශ ගෙවීම් සම්බන්ධයෙන් වන මෙම දැවැන්ත මුදල අදාළ නිසි පාර්ශවයන්ට ලැබී නොමැති බවට කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත කරුණු වාර්තා කර ඇත.
ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම්වලට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සැපයීම විශ්ව තැපැල් සංගමය (UPU) මගින් සිදු කළද, මෙම ප්‍රශ්නගත ගනුදෙනුවේදී අදාළ නිල ලිපිනයට පරිබාහිර වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයක් හරහා සන්නිවේදන කටයුතු සිදුව ඇති බව විමර්ශන නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
අමෙරිකානු තැපැල් සේවයට සිදු කළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජූනි මාසයේ සිට ව්‍යාජ ඊමේල් පණිවුඩ නවයක් ලැබී ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව ඉන් පණිවුඩ තුනකට ප්‍රතිචාර දක්වා ඇති බව අධිකරණයට ප්‍රකාශ විය. ඒ අනුව 2025 පෙබරවාරි 19 වනදා ඩොලර් 435,864ක් සහ එම වසරේම ඔක්තෝබර් 16 වනදා ඩොලර් 190,891ක් වශයෙන් අවස්ථා දෙකකදී මුළුමනින්ම ඩොලර් 626,755ක මුදලක් නාඳුනන තෙවන පාර්ශවයක් වෙත බැහැර කර තිබේ.
මෙම මුදල් බැහැර වී ඇත්තේ කුමන නිශ්චිත පුද්ගලයෙකු හෝ පාර්ශවයක් වෙතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත ප්‍රකාරව මෙහිදී අපරාධමය වැරදි සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අධිකරණය අවසර ලබා දුන්නේය.
සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා සලකා බැලීම සඳහා අදාළ නඩුව ලබන ජූලි මස 22 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.
