the-ambalantho-triple-murder-suspect-was-killed-and-his-head-left-near-a-statue-of-god

අම්බලන්තොට ප්‍රදේශයේ මීට පෙර සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු අතිශය බිහිසුණු අන්දමින් ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිස කොටස කඳින් වෙන් කරගෙන ගොස් මාමඩල හංදියේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුව අසල තබා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු ඊයේ (12) දින අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල යාය 11 ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් හෙවත් 'පොඩී' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 39 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. පසුගිය සඳුදා රාත්‍රියේ මොහු සිය නිවසේ රැඳී සිටියදී ගිනි අවි සහ මන්නා පිහිවලින් සන්නද්ධ වූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවසට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත. එහිදී සඳරුවන් නමැත්තාට වෙඩි තබා මන්නා පිහිවලින් කපා කොටා හිස වෙන් කර ඇති අතර, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ මාමණ්ඩිය හෙවත් බිරිඳගේ පියා ද රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ලක්මාල් සඳරුවන් ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කරන විටත් මියගොසිනි. සැකකරුවන් විසින් රැගෙන ගිය ඔහුගේ හිස කොටස නිවසේ සිට මීටර් සියයක් පමණ දුරින් පිහිටි හංදියේ ඇති ප්‍රතිමාව අසල තබා පලා ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය විය. මෙම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ අම්බලන්තොට පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.




මියගිය ලක්මාල් සඳරුවන් නමැත්තා 2025 වසරේ පෙබරවාරි මස 02 වැනිදා අම්බලන්තොට මාමඩල නැගෙනහිර බැවිනියන්වල ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට චෝදනා ලැබූවෙකි. එච්.ඒ.පී. ඉන්දික (29), එම්.ඩබ්ලිව්. මල්ලවආරච්චි (34) සහ එච්. කේ.ආර්. ප්‍රියදර්ශන (45) යන තිදෙනා එහිදී ඝාතනයට ලක්ව තිබූ අතර, එම ඝාතන සිද්ධියට පළිගැනීමක් වශයෙන් මෙම නවතම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

the-ambalantho-triple-murder-suspect-was-killed-and-his-head-left-near-a-statue-of-god

the-ambalantho-triple-murder-suspect-was-killed-and-his-head-left-near-a-statue-of-god