
හොරණ ප්‍රදේශයේ පිහිටි කාන්තා යට ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා රෙදි තොගයක් සහ එම රෙදිවලින් සකස් කළ ඇඳුම් තොගයක් සොරකම් කළ එම ආයතනයේම සේවකයන් සිව් දෙනෙකු පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇඳුම් මැසීම සඳහා කපන ලද රෙදි මෙන්ම එම රෙදි භාවිත කරමින් වෙනත් වෙළඳ නාම යටතේ සකස් කරන ලද නිමි ඇඳුම් තොගයක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර සොරකම් කරන ලද රෙදි ප්‍රවාහනය කිරීමට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 27, 32, 37 සහ 55 යන වයස්වල පසුවන එම කර්මාන්ත ශාලාවේම සේවය කළ රෙදි කපන්නෙකු, බෙදාහැරීමේ නිලධාරියෙකු සහ ලොරි රථ රියදුරන් දෙදෙනෙකු සිටින බව පොලිසිය තහවුරු කරයි. පිළියන්දල, වීරවිල සහ දික්හේනපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් හොරණ මුණගම ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් වසරකට අධික කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස මෙම සොරකම මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් පසුගිය 9 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, සොරකම් කරන ලද රෙදි තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරන බවට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත පළමු සැකකරු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වීරවිල ප්‍රදේශයේ පදිංචි එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොරකමට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ඇඳුම් සඳහා රෙදි කපන අවස්ථාවන්හිදී සැකකරුවන් විසින් ඉන් කොටසක් ක්‍රමවත්ව වෙන් කරගෙන හොර රහසේ කර්මාන්ත ශාලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි. එලෙස සොරකම් කරන රෙදි තොග මහරගම ප්‍රදේශයේ ස්ථානයකට යොමු කර වෙනත් නමකින් නිමි ඇඳුම් ලෙස මසා නිම කර ඇති බව හෙළි වී තිබේ. මෙම සොරකම් කරන ලද රෙදි තොග මුලින් මුණගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුගේ නිවසේ සඟවා තබා පසුව පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නවාතැන්පලකට ප්‍රවාහනය කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.
