the-14-year-old-brother-who-strangled-his-sister-to-death-because-she-did-not-give-him-her-phone-to-watch-tiktok

ජංගම දුරකථනයක් ලබා නොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිය නැගණියගේ ගෙල සිරකර ඝාතනය කර, මළ සිරුර නානකාමරයේ වතුර ටැංකියක දැමූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඒරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඒරාවුර්, වෙට්ටුවෙල් නොහොත් අධිකරණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සත්‍නාදන් සත්තිසා නැමති එකොළොස් හැවිරිදි දැරියකි.




පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම දරුවන්ගේ මව විදේශ රැකියාවක නිරතව සිටින අතර, සිද්ධිය වූ පසුගිය 28 වනදා පියාද රැකියාව සඳහා නිවසින් බැහැරව ගොස් ඇත. එම අවස්ථාවේදී නිවසේ තනිව සිටි සහෝදරයා සහ නැගණිය අතර ජංගම දුරකථනය සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන ඇත්තේ, ටික්ටොක් (TikTok) වීඩියෝ නැරඹීම සඳහා සහෝදරයා විසින් නැගණියගෙන් දුරකථනය ඉල්ලා සිටීමත් සමඟය.

ඇය දුරකථනය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් වූ සැකකාර සහෝදරයා ඇයට පහර දී ගෙල සිරකර ඇති බවත්, ඉන් සිහිසුන් වූ හෝ මියගිය දැරියගේ සිරුර නානකාමරයට රැගෙන ගොස් එහි වූ වතුර ටැංකියට දමා ඔහු කිසිවක් නොදන්නා අයුරින් අසල්වැසි නිවසකට ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. රැකියාව නිමවා යළි නිවසට පැමිණි පියා දරුවන් පිළිබඳව සොයා බැලීමේදී නානකාමරයේ ජල ටැංකිය තුළ වැටී සිටි දියණිය දැක ඇති අතර, වහාම ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.




අනතුරුව ඒරාවුර් පොලීසිය විසින් සැකකාර සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් සිය නැගණිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබේ. දැරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුවූවක්ද නැතහොත් ජල ටැංකියට දැමීමෙන් පසු සිදුවූවක්ද යන්න නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා මෘත දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

the-14-year-old-brother-who-strangled-his-sister-to-death-because-she-did-not-give-him-her-phone-to-watch-tiktok

the-14-year-old-brother-who-strangled-his-sister-to-death-because-she-did-not-give-him-her-phone-to-watch-tiktok