එළඹෙන මැයි 4 වනදා තමිල්නාඩු ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව ඇති පසුබිමක, තමිලග වෙට්‍රි කලගම් පක්ෂයේ නායක විජෙයි ෂිර්ඩි සායි බාබා විහාරස්ථානයේ දණගසා වැඳ නමස්කාර කරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වේ. නිල් පැහැති කමිසයකින් සැරසී සිටින ඔහු සායි බාබා ප්‍රතිමාව ඉදිරියේ මෙලෙස ආශිර්වාද ලබා ගන්නා අයුරු එම වෛරස් වීඩියෝවෙන් මනාව දැකගත හැකිය.
තමිල්නාඩු මැතිවරණයේ ඡන්ද විමසීම පසුගිය 23 වනදා අවසන් වීමෙන් පසුව විජෙයි පළමුව තිරුචෙන්දූර් මුරුගන් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. ඉන් අනතුරුව ඔහු ඊයේ දිනයේදී ෂිර්ඩි සායි බාබා විහාරස්ථානය වෙත පැමිණ මෙලෙස වන්දනාමාන කර ඇති අතර, එහිදී ඔහුව දැකබලා ගැනීමේ අරමුණින් දහස් ගණනක රසිකයින් පිරිසක් ද එම විහාරස්ථාන පරිශ්‍රයට රැස්ව සිටියහ.
ජෝසප් විජෙයි යන තම අනන්‍යතාවය විවෘතව පිළිගන්නා ඔහු, සක්‍රීය දේශපාලනයට පිවිසීමෙන් පසුව සියලුම ආගමිකයින්ගේ අවධානය සහ සහයෝගය දිනා ගැනීමේ අරමුණින් මෙවැනි නව ආධ්‍යාත්මික දේශපාලන උපාය මාර්ගයක් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව දේශපාලන විචාරකයින් මේ වන විට දැඩි අවධානයක් යොමු කරමින් ප්‍රශ්න කර සිටී. මේ අතර, විජෙයිගේ මව විසින් ද චෙන්නායි නුවර ඉතා විශාල සායි බාබා විහාරස්ථානයක් ඉදිකර තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් බවට පත්ව ඇත.
