pregnant-village-official-killed-in-anuradhapura-accident

අනුරාධපුර, ගුවන්තොටුපළ මාර්ගයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි ග්‍රාම නිලධාරිනියක පසුගිය 27 වනදා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කවරක්කුලම පොලිස් වසමේදී සිදු වූ මෙම අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, 3 වන පියවර, අංක 26/40 ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම්.

භාග්‍යා නිලුපුලී වඩුගොඩපිටිය නමැති 32 හැවිරිදි කාන්තාවකි. ඇය මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව, මහබුලංකුලම 283 තුලාන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය ලෙස රාජකාරී කටයුතු කළ තැනැත්තියකි.




පොලිස් වාර්තාවලට අනුව මෙම අනතුර සිදුව ඇත්තේ ඉකුත් 18 වැනිදාය. මියගිය ග්‍රාම නිලධාරිනිය තවත් අයෙකු යතුරුපැදියේ පිටුපස අසුනේ තබාගෙන කවරක්කුලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරමින් සිටියදී, පිටුපසින් පැමිණි සැහැල්ලු ලොරි රථයක් ඔවුන්ගේ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ග්‍රාම නිලධාරීවරිය මෙලෙස මියගොස් තිබේ. ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඇගේ කුස තුළ සිටි නූපන් බිළිඳාද ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සනාථ කර ඇත.

මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට සැහැල්ලු ලොරි රථයේ රියදුරු කවරක්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, මිහින්තලා පාරේ, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

pregnant-village-official-killed-in-anuradhapura-accident

pregnant-village-official-killed-in-anuradhapura-accident