mira-by-6-wagon-r-by-8-vessel-by-18-yaris-cross-by-14-race-by-12-prado-by-35-due-to-new-taxes

රජය විසින් වාහන ආනයනය සඳහා පනවා ඇති නව බදු සංශෝධනය හේතුවෙන් මෙරට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයට අනුව, සියලුම ආනයනික වාහන සඳහා බලපැවැත්වෙන පරිදි රේගු බද්ද මත සියයට පනහක අධිභාරයක් පනවා තිබේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කරන පරිදි, මෙම නව බද්ද 16 වැනිදා සිට විවෘත කරනු ලබන සියලුම ණයවර ලිපි (LC) සඳහා අදාළ වන අතර, ඊට පෙර දින විවෘත කරන ලද ණයවර ලිපි සඳහා එය බලපාන්නේ නැත.




මෙම බදු වැඩිවීම රේගු බද්දට එකතු වීමෙන් පසු, ඊට සාපේක්ෂව වැට් බද්ද, සුඛෝපභෝගී බද්ද ඇතුළු අනෙකුත් සියලුම බදු වර්ග ද ස්වයංක්‍රීයව ඉහළ යන බව ඔහු අවධාරණය කරයි. මීට අමතරව රුපියල අවප්‍රමාණය වීම ද ඉදිරියේදී ආනයනය කරන වාහනවල මිල තවදුරටත් ඉහළ යාමට ප්‍රබල ලෙස බලපානු ඇත. නව තත්ත්වය මත වෙළෙඳපොළේ නිතර ගැවසෙන වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යන අතර, ඒ අනුව මිරා රථයක් රුපියල් ලක්ෂ පහකින් හෝ හයකින්, වැගන් ආර් රථයක් ලක්ෂ හතත් අටත් අතර ප්‍රමාණයකින් සහ වෙසල් රථයක් ලක්ෂ දාහතකින් හෝ දහඅටකින් පමණ ඉහළ යනු ඇත. එසේම යාරිස් ක්‍රොස් රථයක් ලක්ෂ දාහතරකින්, ටොයෝටා රේස් දෙමුහුන් රථයක් ලක්ෂ දොළහකින් සහ ප්‍රාඩෝ රථයක් ලක්ෂ තිස්පහත් හතළිහත් අතර මුදලකින් මිල ඉහළ යනු ඇති බව මානගේ මහතා පෙන්වා දෙයි. ඉදිරියේදී ගෙන්වන වාහනවල මිල අධික වන බැවින්, දැනට වෙළෙඳපොළේ පවතින වාහනවල මිල ගණන් ද ඉල්ලුම හා සැපයුම මත යම් පමණකින් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL) සභාපති ඉන්දික සම්පත් මෙරිඤ්ඤගේ මහතා පවසන්නේ සාමාන්‍යයෙන් වාහන සඳහා රේගු බද්ද, නිෂ්පාදන බද්ද සහ වැට් බද්ද වශයෙන් බදු වර්ග තුනක් අය කෙරෙන බවයි. නව සංශෝධනය හරහා රේගු බද්දෙන් සියයට පනහක් අය කරන විට එය සමස්ත බදු ව්‍යුහයටම බලපාන බව ඔහු ද තහවුරු කරයි. ලෝක මට්ටමේ පවතින යුදමය තත්ත්වයන් හමුවේ ඩොලරයේ අගය කඩා වැටීම සහ විදේශ විනිමය සංචිත හිඟවීම වැනි කරුණු පදනම් කරගනිමින් රජය මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති බව ඔහුගේ අදහසයි. මෙවැනි අසීරු අවස්ථාවකදී රජයට සහාය දක්වන අතරම, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට වාහන ලබා දීමට තම සංගමය කටයුතු කරන බව හෙතෙම පවසයි.




වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වෙනුවට ආර්ථිකය අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ සලසමින් රජය ගෙන ඇති මෙම පියවර ඉතා ප්‍රායෝගික බව මෙරිඤ්ඤගේ මහතා පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුව වෙළෙඳ බාධක පැනවීමෙන් වැළකී සිටීමට රජය කටයුතු කර ඇති අතර, එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ගත් ඉතා සාධනීය හා හොඳ ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ගයක් ලෙස ඔහු අගය කරයි.