inefficient-officials-were-compensated-and-rda-contract-money-was-paid-twice-each

මෙවර අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හිමි පිරිසකට රුපියල් මිලියන 500 කට අධික මුදලක් දෙවරක් ගෙවා ඇති බව අනාවරණය වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද මෙම ගැටලුව සම්බන්ධයෙන් 'නිදහස් නීතිවේදීන්ගේ' සංවිධානය ද වැඩිදුරටත් කරුණු දක්වා ඇති අතර, මීට දින කිහිපයකට පෙර මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට ද මෙලෙසම දෙවරක් මුදල් ගෙවීමේ සිද්ධියක් වාර්තා වී තිබිණි.

මෙම නවතම සිදුවීමත් සමඟ වර්තමාන රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ක්ෂේත්‍ර ගණනාවකින් බරපතල ප්‍රශ්න මතු වී තිබේ.




මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා නිදහස් නීතිවේදීන්ගේ සංවිධානය විසින් කථානායකවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති අතර, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා සිදුකර ඇති මෙම අමතර ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් සිදුවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකමට සමාන තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති. 2026 අප්‍රේල් මාසයේදී අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා සිටි පවුල් මිලියන 1.73 කට ආසන්න ප්‍රමාණයෙන් කොටසකට මෙම දෙගුණයක් වූ ගෙවීම් හිමිවී ඇති බවත්, තවත් පිරිසකට රජය විසින් පිරිනැමූ අතිරේක ප්‍රසාද දීමනාව ද දෙවරක් ලැබී ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත.

මහජන මුදල් මෙලෙස මූල්‍ය රෙගුලාසිවලින් බැහැරව, කිසිදු පාලනයකින් හෝ වගවීමකින් තොරව භාවිත කිරීම අපරාධයක් මෙන්ම දූෂණයක් බව පෙන්වා දෙන නීතිවේදීන්ගේ සංවිධානය, විශේෂයෙන්ම කෑගල්ල, මොණරාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම ද්විත්ව ගෙවීම් සිදුවී ඇති ආකාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව මහජන මුදල් පාලනය කිරීමේ පරම බලය හිමි පාර්ලිමේන්තුව මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වහා මැදිහත් විය යුතු බව ඔවුන්ගේ අදහසයි.




සුබසාධක මණ්ඩලය වෙත දේශපාලන පත්වීම් ලෙස අනුයුක්ත කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න සහ භාණ්ඩාගාරය විසින් මෙම අතිරේක ප්‍රතිපාදන නිදහස් කිරීමේදී මූලික විමර්ශනයක් සිදු කළේ දැයි යන්න මෙහිදී බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන අතර, මෙම වැරදි සහගත ගෙවීම් හේතුවෙන් සිදුවී ඇති අතිවිශාල මූල්‍ය නාස්තියට වගකිවයුතු නිලධාරීන් කඩිනමින් හඳුනාගත යුතුව ඇත. අදාළ අතිරික්ත මුදල් නැවත අයකර ගැනීමේදී එම අන්ත අසරණ ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන පරිදි එම මුදල් කොටස් වශයෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ද එම සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි.