fraudulent-doctor-caught-working-in-apple-orchards-in-australia

වෛද්‍යවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ඔස්ට්‍රේලියාවේ ඇපල් වතුකරයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුළා කළ සැකකරුවෙකු පොලොන්නරුව දීපඋයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. පසුගිය 05 වනදා සිදුකළ මෙම වැටලීමේදී කොටුවූ සැකකරු කලක සිට පොලොන්නරුව ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම මූල්‍ය වංචාව මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.




සැකකරු තමන් සැබෑ වෛද්‍යවරයකු බව අඟවනු පිණිස වෛද්‍යවරුන් භාවිතා කරන ඇඳුම් කට්ටල මෙන්ම වෙද නළාව ඇතුළු උපකරණ ද ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තිබේ. විදේශ රැකියා සිහිනය පෙන්වමින් ඔහු මෙම වංචාව සිදුකර ඇත්තේ වෛද්‍යවරයකු යන වෘත්තීය ගරුත්වය අවභාවිත කරමින් ජනතාව මුළා කිරීමේ උපක්‍රමයක් ලෙසිනි.

පන්නල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු වන මෙම සැකකරු විදෙස් රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් හැත්තෑදහසක මුදලක් සහ ඔහුගේ ජාතික හැඳුනුම්පත ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබේ. පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී.ආර්.කේ. ජාගොඩගේ මහතා පවසන්නේ ඔහු මෙවැනි වංචාවන් රැසක් දිගින් දිගටම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.




මෙම පුද්ගලයා මීට පෙරද අවස්ථා කිහිපයකදී බොරැල්ල සහ මිනුවංගොඩ යන ප්‍රදේශවලදී මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බව විමර්ශනවලදී තහවුරු වී ඇත. ඔස්ට්‍රේලියාවේ ඇපල් වතුකරයේ රැකියා සඳහා ඔහුට මුදල් ලබාදුන් බොහෝ පිරිසක් මෙතෙක් පොලීසියට පැමිණිලි කර නොමැති වුවද, ලද තොරතුරු මත සිදුකළ මෙහෙයුමේදී ඔහු මෙවැනි සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකු බවට කරුණු හෙළිව තිබේ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවති. අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.