ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කටඋත්තරයක් ලබාගැනීමට යන කතාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබුණි.
"එයාර්බස් ගනුදෙනුව කුමක්ද කියන එක රටට පැහැදිලි කරන්න. එයාර්බස් ගනුදෙනුවෙන් වංචා වෙලා තියෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය කොච්චරද කියලා රටට පැහැදිලි කරන්න. එයාර්බස් ගනුදෙනුව සිදුවන විට ඒ සම්බන්ධව කටයුතු කරපු රාජ්‍ය නිලධාරීන් කවුද කියලා එළියට දාන්න. ඒ සම්බන්ධව වගකිවයුතු දේශපාලන අධිකාරියේ, කැබිනට් එකේ කවුද හිටියේ කියන එකත් එළියට දාන්න.
ඒවා එළියට දාන අතරේ, රාජපක්ෂවරයෙකුගේ නම හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ එයාර්බස් ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව රටට එළිදක්වන්න. එසේ එළිදක්වලා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා හැරෙන්න, එතුමාට පීඩනයක් එල්ල කිරීම, එතුමාගේ දැන් තියෙන වයසත් එක්ක, අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නායකයා, අපේ රට එක්සේසත් කරපු නායකතුමාගේ මානසිකත්වයත් එක්ක එතුමාගේ මනසට වධ දීමේ කාර්යයක් නම් ඔබතුමා මේ කරන්නේ, පෙරළා ඔබතුමාටත් ඒ වධ වේදනාවන්ම විඳින්න වෙනවා කියන කාරණාව හිතේ තියාගෙන කටයුතු කරන්න කියන අනතුරු ඇඟවීම විතරයි මම කරන්නේ. ජනාධිපතිතුමනි, මම සරලව පැහැදිලි කරන්නම්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා ඡන්දෙ ඉල්ලපු වෙලාවේ, ඡන්ද ප්‍රතිශතය 2.5% ට අඩු වුණේ විවිධ කාරණාවන් බලපාපු නිසා. හැබැයි නාමල් රාජපක්ෂ මැතිතුමා ඒ වෙලාවේ 2.5% ක ප්‍රතිශතයකට බැස්සා කියලා, මහින්ද මහත්තයාව කුදලාගෙන ගිහිල්ලා හිරේ දාන්න හදනකොට, මේ රටේ ඉන්න මහින්ද මහත්තයාගේ තරමත් 2.5% යි කියලා හිතනවා නම් ඒක වැරදියි. ජනාධිපතිතුමාට ඕනෙ නම් අතදාලා බලන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ජනතාව අදහන නායකයෙක්.
ඒ නිසා, මේ රටට වැඩ කරපු නායක, අපිට ජීවිත දානය දුන්න නායක මහින්ද රාජපක්ෂ මහතා නිසා තමයි අද අනුර කුමාර දිසානායක මහත්තයා, කැබිනට් එකේ ඉන්න ඇමතිවරු, ඔය ඉන්න ආණ්ඩුවේ ඔක්කොම හැත්ත බුරුත්ත පවුල් පිටින් කාලා බීලා සතුටු වෙන්නේ. මහින්ද මහත්තයා බෝම්බ පිපිරුණු යුගය නතර කළා කියන කාරණාව මේ රටේ බත් කන ජනතාව දන්නවා. ඒ නිසා, බත් කන ජනතාව මහින්ද මහත්තයාව එක දවසක් හරි හිරේට දාන්න තීරණය කළහොත්, පක්ෂ, පාට, ජාති, කුලමල භේදයකින් තොරව මහින්ද රාජපක්ෂ කියන ඒ අසහාය නායකයා වෙනුවෙන් ජනතාව කොළඹට එනවා කියන කාරණාව හොඳින් හිතේ තියාගෙන මේ තීන්දු ගන්නා ලෙස මම නැවතත් අවධාරණයෙන්ම ඔබතුමාට මතක් කර සිටිනවා."
