
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශයක් කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට පොලිසිය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා මේ බව අනාවරණය කළේය.
මෙම මරණයට අදාළව කුලියාපිටිය අධිකරණයේ ක්‍රියාත්මක වන මරණ පරීක්ෂණය සඳහා ගම්මන්පිල මහතා කැඳවා ඔහුගේ සාක්ෂි ලබාගැනීමට ද පොලිසිය සැලසුම් කර ඇත. මුදල් අමාත්‍යාංශයේ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට බාධා වන ආකාරයේ සහ අධිකරණ ක්‍රියාවලිය නොමඟ යවන ස්වභාවයේ ප්‍රකාශ නිකුත් කිරීම කිසිසේත්ම යෝග්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී දැඩිව අවධාරණය කළේය.
මේ අතර, මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ අභාවය සම්බන්ධයෙන් කිසිදු සැකයක් පවතින බවට ඔහුගේ බිරිඳ විසින් මේ දක්වාත් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවද සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. කෙසේ නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් අදාළ මරණය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයා භාවිත කළ මෝටර් රථයක්, ජංගම දුරකථන, බැංකු කාඩ්පත් සහ තවත් ලිපිගොනු කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ. මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී ලබා දීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
