the-fake-doctor-who-sent-the-country-was-caught

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් රවටා මුදල් ගසාකෑ පුද්ගලයෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත් වී ඇත. පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීමේදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැකකරු සමාජය හමුවේ ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම සංවිධානාත්මක ජාවාරම ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඔහු සතුව තිබී වෛද්‍යවරුන් භාවිතා කරන වෙද නළාවක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට පෙර අවස්ථාවලදී ද මහනුවර මෙන්ම වේයන්ගොඩ යන ප්‍රදේශවලින් ද මෙවැනිම ආකාරයෙන් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ චෝදනා මත අදාළ පොලිස් ස්ථාන මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී තවදුරටත් තහවුරු වී ඇත. ඒ අනුව, අත්අඩංගුවට පත් වූ මෙම ව්‍යාජ වෛද්‍යවරයා අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.