
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිට වැඩ තහනමට ලක්ව සිටියදී අබිරහස් ලෙස මියගොස් සිටි රංග නිශාන්ත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පෙරේදා (20) මරණ පරීක්ෂණයේදී බිරිඳ දියණිය ඥාති සොයුරිය හා දේශපාලනඥ උදය ගම්මංපිල කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් කරුණු හෙළි කර තිබේ.
එහිදී මරණකරුගේ බිරිඳ නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී, දියණිය අබේසිංහ මුදියන්සේලාගේ සුනෙත්මි ඉමාෂා, රාජපක්ෂගේ කරුණාවතී, පතිරාජ මුදියන්සේලාගේ මධුෂානි සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල යන අය විවධ කෝණ වලින් මේ ගැන කරුණු ප්‍රකාශ කළ අතර විශේෂයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා මරණය ගැන විශේෂ සැකයක් මතු කළ උදය ගම්මංපිල ඉදිරිපිටදීම මියගිය රංගගේ බිරිය මරණය ගැන සැකයක් නැති බව හා ඇතැමුන් ගෙතූ කතා නිසා අපහසුතාවට ලක්වූ ආකාරය විස්තර කිරීම විශේෂිතය.
උදය ගම්මංපිල මහතා ඇතැම් කරුණු 'හිතලු' ආකාරයෙන් ප්‍රකාශ කළ බවද ඔවුන් ඉදිරියේදී පිළිගත්තේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයේ පැමිණිල්ල මෙහෙයවූයේ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතාය.
මරණකරුගේ බිරිඳගේ සාක්ෂිය
මරණකරු රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී මහත්මිය මරණ පරීක්ෂණ සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.
සාක්ෂිකාරිය: “ස්වාමිනී, මේ සිද්ධිය වෙන්නේ අප්‍රේල් 30 දා. මම සුපුරුදු පරිදි එදා උදේ දුවටත් නිවසේ සිටින මහත්තයටත් උදේට කන්න කෑම හදලා පාසල් යන්න පිටත් වුණා. මම වෙනදා වගේම පාසලේ ඉගැන්වීම් කටයුතුවලට ගියේ. අපි නුවර දළදා මාලිගාවට යන්නත් එක්ක සූදානමින් සිටියා. ඒ නිසා උදේ දහයට පමණ මම නිවසට ආවා. මම එද්දි දහයයි පනහ වගේ වෙලා තිබුණා. මම දුවගෙන් ඇහුවා කෑවද කියලා. දුව කිව්වා මම කෑවා, ඒත් තාත්තා නම් කෑවේ නෑ කියලා. මහත්තයා පේන්න සිටියේ නැති නිසා මම දුවගෙන් ඇහුවා තාත්තා කෝ කියලා. 'අම්මේ තාත්තා කජු ඇහිඳින්න යනවා කියලා පහළට ගියා' කියලා දුව කිව්වා. මම පහළට ගියා මහත්තයා හොයන්න. පිටිපස්සට ගියා, ඒත් මහත්තයා හිටියේ නෑ.
ඊට පස්සේ මහත්තයාගෙත් මගේත් පවුලේ හිතවතෙක් වුණ උදය අයියාට කෝල් එකක් ගත්තා. උදය අයියා ටිකකින් ආවා. අපි දෙදෙනාම මහත්තයව හොයන්න ගියා. ඊට පස්සේ බුලත් කොටුවේ වැඩ කරමින් හිටපු රණවීර අයියත් අපේ උදව්වට ආවා. අපි මහත්තයා වැඩ කරන කුඹුර දිහාවට ගියත් මහත්තයා එතනත් හිටියේ නෑ.
ඊට පස්සේ බුලත් කොටුවේ වැඩ කරමින් හිටපු කරුණා අක්කා මහත්තයා වත්ත මැද වැටිලා ඉන්නවා කියලා අපිට පණිවිඩයක් දුන්නා. අපි ඉක්මනට එතැනට ගියා. යනකොට වත්ත මැදින් මහත්තයා උඩුබැලි අතට වැටිලා ඉන්නවා දැක්කා. මට ගොඩක් බය හිතුණා. එතැන හිටපු අයගේ උදව්වෙන් මම මහත්තයා උස්සගෙන කුස්සිය පිටිපස්සේ මඩුවට ආවා. ඊට පස්සේ 1990 ගිලන් රථ සේවයට කතා කළා. ඒ අය තමයි පරීක්ෂාවෙන් පසුව මහත්තයා මියගිහින් කියලා කිව්වේ.”
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා: සාක්ෂිකාරියගේ සැමියා එසේ වැටී සිටියේ මොන ඇඳුම් ඇඳගෙනද?
සාක්ෂිකාරිය: තද පාට සරමක් සහ කහපාටට හුරු ටී ෂර්ට් එකක් තමයි මහත්තයා ඇඳගෙන හිටියේ. බාටා වර්ගයේ පොල් ගස සලකුණ සහිත පාවහන් යුගලක් ද දාගෙන හිටියා.
පොලිසිය: (සාක්ෂිකාරියට නඩු භාණ්ඩ පෙන්වා දෙමින්) මේවා සාක්ෂිකාරියගේ ස්වාමිපුරුෂයාගේ ඇඳුම් පැලඳුම්ද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමිනී. මේවා මගේ මහත්තයාගේ ඇඳුම් සහ සෙරෙප්පු.
පොලිසිය: (නඩු භාණ්ඩයක් වූ පිහියක් පෙන්වා සිටී) සාක්ෂිකාරිය මේ පිහිය අඳුනනවාද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමිනී, මම විවාහ වෙලා මේ නිවසට පැමිණෙන විටත් නිවසේ එළවළු ආදිය කපා ගැනීමට පාවිච්චි කළේ මේ පිහිය.
පොලිසිය: ඔබ පොලිසියට මේ සිද්ධිය ගැන ප්‍රකාශ දුන්නාද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමිනී, මම ප්‍රකාශ දෙකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් පොලිසියට ගිහින් තවත් ප්‍රකාශයක් දුන්නා. විවිධ මාධ්‍යවලින් මේ මරණය ගැන මගෙන් එක එක දේවල් ඇහුවා. ඒකෙන් අපි සිත්තැවුලට පත්වුණා, මමත් මගේ පවුලේ හැමෝමත්. ඒ නිසා එය වළකා දෙන ලෙසට තමයි තුන්වැනි සැරේට පොලිසියට ගිහින් ඉල්ලීමක් කළේ.
පොලිසිය: සාක්ෂිකාරිය පොලිසියට දුන් ප්‍රකාශ තුනේදීම කුමන අවස්ථාවකදී හෝ කිව්වාද ඔබට මේ මරණය පිළිබඳ සැකයක් තියෙනවා කියලා?
සාක්ෂිකාරිය: මම කිසිම අවස්ථාවක මගේ මහත්තයාගේ මරණය ගැන සැකයක් තියෙනවා කියලා කිසිම ස්ථානයක කිව්වේ නැහැ.
පොලිසිය: ඔබට ඒ සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් අලුතින් කියන්න තියෙනවාද කියලා මේ ගරු අධිකරණයේදී කියන්න?
සාක්ෂිකාරිය: අපිට කිසිම සැකයක් නෑ. ඒ වගේම කීමටද කිසිවක් නෑ.
මරණකරුගේ දියණියගේ සාක්ෂිය
මෙහිදී සාක්ෂි දුන් මරණකරුගේ දියණිය මෙසේ පැවසුවාය.
සාක්ෂිකාරිය: “ස්වාමිනී, මේ මියගොස් සිටින්නේ මගේ පියා. අපි එදා දළදා මාලිගාවට යන්නයි සූදානමින් සිටියේ. අම්මා ඉස්කෝලේට ගියා උදේ හතට විතර. අම්මා යන්න කලින් මට කතා කරලා කිව්වා තාත්තටත් දීලා කන්න කියලා. මම හත හමාරට විතර නැගිටලා ගිහිල්ලා තාත්තව බැලුවා, තාත්තා හිටියේ නෑ. අම්මා දහයයි හතළිස්පහට විතර ගෙදර ආවා. ඇවිත් අම්මා නාන්න ගියා. නාලා ඇවිල්ලා තාත්තා කෝ කියලා මගෙන් ඇහුවා. කජු කඩන්න වත්ත පහළට යන බව කියලා තාත්තා ගියා කියලා මම අම්මට කිව්වා. අම්මා තාත්තව හොයන්න ගියා.
පස්සේ උදය අන්කල් ගෙදර ආවා. උදය අන්කල් එක්ක අම්මා තාත්තව හොයන්න වෙල පැත්තට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ හයියෙන් කෑගහන සද්දයක් ඇහුණා. මම පිටිපස්සෙන් එළියට ගිහිල්ලා බලනකොට අම්මලා, උදය අංකල්ලා කෑගහනවා ඇහුණා. මම එතැනට ගියාම දැක්කා තාත්තා වැටිලා ඉන්නවා. අම්මා එතැන හිටපු මාමලා නැන්දලා ඔක්කොම එක්ක තාත්තව උස්සගෙන ගෙදරට ආවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකට කතා කළා. එයාලා තමයි ඇවිල්ලා බලලා කිව්වේ තාත්තා නැතිවෙලා කියලා.”
පොලිසිය: ඔබ නිවසේ තනිව සිටින වෙලාවේ මොකක් හරි ශබ්දයක් ඇහුණාද?
සාක්ෂිකාරිය: නෑ, මට කිසිම ශබ්දයක් ඇහුණේ නැහැ. මම මේ ගැන පොලිසියට ප්‍රකාශයක් දීලා අත්සන් කළා.
කරුණාවතී මහත්මියගේ සාක්ෂිය
මරණකරු වැටී සිටින අයුරු මුලින්ම දුටු ඥාතියෙකු වන කරුණාවතී යන අය ඉන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි දුන්නාය.
සාක්ෂිකාරිය: “ස්වාමිනී, මම රංග මල්ලි පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පදිංචි වෙලා ඉන්නේ. මමත් මහත්තයාත් මේ කොරටුවට නිතර බුලත් කඩන්න ආවේ නැති වුණත්, පහුගිය වකවානුවේ දිනක් හැර දිනක් බුලත් කොටුවට ආවා. එදා රංග මල්ලිගේ නෝනා ඇවිල්ලා කිව්වා, මහත්තයා ගෙදර නැහැ කියලා. ඊට පස්සේ මගේ මහත්තයයි, ඒ නංගියි, උදය මල්ලියි ගියා රංග මල්ලි හොයන්න.”
පොලිසිය: ඔබ උදෑසන සේවයට පැමිණි අවස්ථාවේදී ඉඳලා ඒ වෙනතුරු කිසියම් සැකකටයුතු ශබ්දයක් ඇසුණාද?
සාක්ෂිකාරිය: “නෑ ස්වාමිනී, එසේ ශබ්දයක් ඇසුණේ නෑ. අපි වෙනදා බුලත් කඩන පැත්තේ බුලත් කැඩුවා නම් රංග මල්ලි එතැනට යන හැටි අපි දකිනවා. එදා සිද්ධිය වූ දිනයේ බුලත් කඩමින් සිටියේ වත්තේ අනෙක් පැත්තේ නිසා අපි කිසිවක් දැක්කේ නැහැ.”
උදය ගම්මන්පිල මහතාගේ සාක්ෂිය
අනතුරුව සාක්ෂි විමසුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙනි.
පොලිසිය: සාක්ෂිකරු, ඔබ මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසු එනම් හතරවැනිදා මාධ්‍ය හමුවක් පවත්වා මෙම මරණය සැක සහිත බවට කිව්වාද?
සාක්ෂිකරු: ‘ස්වාමිනී, මම කිසිදු විටෙක එවැනි ප්‍රකාශයක් ජනගත කළේ නැහැ. මම කළේ රටේ ඉතාම වගකීමක් සහිත රාජ්‍ය නිලධාරියෙකු වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනෙකු පත් කිරීම වෙනුවෙන් නිකුත් කර තිබූ පත් කිරීමේ ලිපියක කොටසක් උපුටා දැක්වීම පමණයි.
පොලිසිය: පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු අධිකරණ ක්‍රියාවලියක් නොවෙයි. සාක්ෂිකරු ඔබ නීතිඥවරයෙකු ලෙසින් ඒ පිළිබඳව දන්නවාද?
සාක්ෂිකරු: මා අපරාධ අධිකරණයේ නොවෙයි සිවිල් අධිකරණයේ කටයුතු කරන්නේ.
මෙහිදී සාක්ෂිකාර උදය ගම්මන්පිල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා කරුණු දක්වමින් මෙසේ පැවසීය.
නීතිඥවරයා: ස්වාමිනී, මෙම මරණය සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ගණනාවක යම් යම් අදහස් පළ වී තිබුණා. තම සේවාදායකයා මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂියක් සඳහා කැඳවීම පිළිබඳව අප නීතිඥ මඬුල්ලට ඇත්තේ පුදුමයක්.
පොලිසිය: මෙම සාක්ෂිකරු කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාව ඉකුත් 04 වැනිදාත් ඊට පසු දිනත් රූපවාහිනී නාලිකා දෙකක ප්‍රවෘත්ති විකාශවල ප්‍රචාරය වුණා. එහිදී මරණකරු ගැන මතයක් ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 වගන්තියට අනුව සාක්ෂියක් ලබාගැනීමට අධිකරණයට කැඳවනු ලැබුවා. (මෙහිදී එම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වන වීඩියෝ දසුන් රැගත් සීඩී තැටි කොටස් පැමිණිල්ලේ සාක්ෂි ලෙස නම් කළේය).
පොලිසිය: මෙහි මරණකරු මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි අසූවක මුදලක් අස්ථානගත වීම සම්බන්ධව මුල් පැමිණිල්ල කළ අය බව කියන දේ නිවැරදිද?
සාක්ෂිකරු: මුල් අවස්ථාවේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් පැමිණි තොරතුරු අනුව මුල් පැමිණිල්ල සිදු කරන ලද්දේ මෙම මරණකරු විසින් බව මම දැනගත්තා. මුදල් නියෝජ්‍ය ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී එය තහවුරු වුණා. ඒ නිසා මම ඒ ප්‍රකාශය කළා. පස්සේ මුල් පැමිණිල්ල කළේ මරණකරු නොවන බවට තහවුරු කරගත්තාට පස්සේ ඒ පිළිබඳවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා.
පොලිසිය: ලේ තැවරුණු පිහිය රජයේ රස පරීක්ෂකට යවා වාර්තාව ලබාගන්නටත් පෙර මෙය සියදිවි හානිකර ගැනීමක් ලෙස හුවා දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීමට කටයුතු කිරීම පිළිබඳව ඒ කතාවේ පදනම කුමක්ද?
සාක්ෂිකරු: මේ සිද්ධියට පාදක වී ඇත්තේ රටේ දැවැන්ත කරුණක්. මා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුවත්, ඊට පෙරත් මෙම පුද්ගලයා මැරුවාද, මැරුණාද යන්න ගැන සමාජයේ විවිධ කතා පැතිරුණා. පරීක්ෂණය අවසන් වූවාට පසු එය සියදිවි හානි කර ගැනීමක් කියලා ප්‍රකාශ කළා නම් ගැටලුවක් පැනනගින්නේ නැහැ. මම මරණ පරීක්ෂණය සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළේ නෑ.
පොලිසිය: ඔබ පිහියේ ඇඟිලි සලකුණු රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා නැති බවටත් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළාද?
සාක්ෂිකරු: මා ප්‍රවෘත්ති සාකච්ඡාවේ එසේ පැවසූ බව පිළිගන්නවා.
පොලිසිය: දේහය කපා සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයකදී ඇඟිලි සලකුණු වාර්තාවක් එතරම් වැදගත් නොවන බව වෛද්‍යවරුන් සඳහන් කරන බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු: මා පැවසූයේ මගේ මතයයි. නියෝජ්‍ය පොලිස්පතිතුමන් එම මතය නොපිළිගන්නේ නම් ඊට මා ගරු කරනවා.
පොලිසිය: ඇඳුම්වල ඇති ලේ පැල්ලම් පිළිබඳව ඔබ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රකාශයක් කළාද? ඔබ එම ලේ පැල්ලම් දුටුවාද?
සාක්ෂිකරු: මරණකරුගේ ඇඳුම් පැළඳුම්වල ලේ පැල්ලම් තිබුණා නම් එය පරීක්ෂා කළ යුතු බව පමණයි මා කිව්වේ. මා නීතිඥයෙක්. එමෙන්ම දේශපාලනඥයෙක්. පක්ෂ නායකයෙක්. මේ වන විට විපක්ෂය නියෝජනය කරන අයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. රාජ්‍ය නිලධාරීන් සතු බොහෝ කාරණා ඔවුන්ට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ නොහැකියි. ඒ නිසා ඔවුන් ඉතා සංවේදී රහසිගත තොරතුරු විපක්ෂයේ දේශපාලනඥයන් ලවා ජනගත කරනවා. මා හටත් මේ සිදුවීම පිළිබඳව විශ්වසනීය රාජ්‍ය නිලධාරීන් බොහෝ තොරතුරු පැවසුවා. එම තොරතුරු ද පාදක කරගනිමින් තමයි අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බේ.
පොලිසිය: මරණකරුගේ මරණය සැක සහිත බව බිරිඳ පැවසූ බවට එම මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ ඇයි?
සාක්ෂිකරු: මා කිසිසේත් එම මරණය සැක සහිත බව බිරිඳ පැවසූ බවට කිසිදු අවස්ථාවක කිව්වේ නෑ. එම මරණය පශ්චාත් මරණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා පත්කළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීමේ ලිපියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇත්තේ බිරිඳ එම මරණය පිළිබඳව සැක සහිත බවට පළ කරන නිසා මෙසේ පත් කිරීමක් සිදු කළ බවටයි. (සාක්ෂිකරු එම ලිපිය අධිකරණයේ අවධානයට යොමු කළේය). ස්වාමිනී, පොලිසිය කළ යුතුව තිබුණේ මා සාක්ෂියට කැඳවනවා වෙනුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසූයේ ඇයිදැයි යන්න විමසා සිටීම නේද?
මෙම මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන ජුනි මස 6 දක්වා කල් තැබූ අධිකරණය, එදිනට සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
