due-to-activation-of-southwest-monsoon-many-areas-of-the-island-are-severely-affected

දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් බලපා තිබේ. නවතම කාලගුණික දත්ත මෙන්ම අදාළ රාජ්‍ය ආයතන විසින් නිකුත් කර ඇති නිවේදන අනුව, ප්‍රදේශ කිහිපයකටම ආපදා තත්ත්වයන් මතු වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇත.




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ද මිලිමීටර් 100ට වැඩි වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව උතුරු, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ද තරමක් රළු විය හැකි බවට නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු අඟවා ඇත. 

ගංගා ද්‍රෝණි රැසකට ගංවතුර අවදානම්




පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි, කළු සහ අත්තනගලු ඔය ද්‍රෝණි සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300කට ආසන්න වැසි ලැබී ඇති බැවින් රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. තවදුරටත් වැසි පැවතුණහොත් හංවැල්ල ප්‍රදේශයෙන් පහළ කැලණි ගඟ නිම්නයේ ද ගංවතුර තත්ත්වයක් නිර්මාණය විය හැකිය.

මීට සමගාමීව කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, අයගම සහ කිරිඇල්ල යන ප්‍රදේශවලටත්, අත්තනගලු ඔය සහ උරුවල් ඔය පිටාර ගැලීමෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම ගංවතුර අවදානම බලපා ඇත. 

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 03ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කුරුවිට ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ නායයාමේ අවදානම් නිවේදන ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම අවදානම් තත්ත්වයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා 117 හදිසි දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කරගත හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. 

ගුවන් සහ දුම්රිය ගමනාගමනයට බාධා

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම්වලට ද අද අලුයම දැඩි බාධා එල්ල විය. කටුනායකට ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09ක් මත්තල ගුවන්තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මත්තලට හරවා යැවූ යානා 06 අතරට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි යානා 02ක්, සාජා සිට පැමිණි එයාර් ඇරේබියා යානා 02ක්, අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් යානයක් සහ කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ යානයක් අයත් වේ.

මේ අතරතුර, දුම්රිය මාර්ගවලට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබේ. කොස්ගම සහ අවිස්සාවේල්ල අතරින් කැලණිවැලි මාර්ගයටත්, මාදම්පේ සහ හලාවත අතරින් පුත්තලම මාර්ගයටත් ගස් පෙරළීම හේතුවෙන් ධාවන ප්‍රමාදයන් වාර්තා වන අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.