foreign-nationals-caught-in-rajagiri-are-found-to-have-hacked-bank-accounts-of-02-countries

රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනෙකු මෙරට සිට ඇමරිකාවේ කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම්වල මුදල් හැක් කර ඇති බවට වැලිකඩ පොලිසිය පසුගිය 15 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවේ කරුණු වාර්තා කළේය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය මගින් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් පරිගණක තුනක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු හෙළි වී ඇති අතර, සෙසු උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.

පොලිස් භාරයට ගත් තවත් පරිගණක 151ක්, ලැප්ටොප් පරිගණක 51ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 266ක් ඇතුළු නඩු භාණ්ඩ රැසක් විමර්ශන සඳහා යොමු කර ඇති බව මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.




රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක ඉතා සූක්ෂ්ම ලෙස හා දැඩි රැකවල් මැද්දේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් හා දේපළ පොලිස් භාරයට ගත් බවත් සඳහන් විය. මෙම මස 2 වැනිදා සිදු කළ එම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පුද්ගලයන් 28 දෙනෙකු විධිමත් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින බවට හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ආගමන විගමන පාලකවරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරයා විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය යන රටවල පුරවැසියන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔවුන් එදින සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගත්තේය. විමර්ශන කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බැවින් සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.