fifa-world-cup-mexicos-decorations-for-the-mayor-to-see-the-error

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් මෙක්සිකෝ නගරය සැරසීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් එරට ප්‍රධාන නගරාධිපතිනිය දැඩි මහජන විවේචනයට ලක්ව තිබේ. මෙක්සිකෝ නගරයේ නගරාධිපතිනිය වන ක්ලාරා බෘගාඩා (Clara Brugada) විසින් නගරය පුරා සිදු කරනු ලබන මෙම සැරසිලි සඳහා මහජන මුදල් නාස්ති කරන බවට චෝදනා එල්ල වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙක්සිකෝ නගරයේ පුරාණ ජල මාර්ගවලට ආවේණික සත්ත්ව විශේෂයක් මෙන්ම මෙවර ෆිෆා (FIFA) ලෝක කුසලාන තරගාවලියේ නිල සංකේතය වන 'ඇක්සොලොට්ල්' (axolotl) නැමැති දුර්ලභ සලමන්දරා විශේෂයේ රූපවලින් නගරය පුරා ඇති බිත්ති, දුම්රිය, වීදි ලාම්පු කණු සහ මාර්ග බාධක හැඩගන්වා ඇත. මෙලෙස නගරය 'ඇක්සොලොට්ල්කරණය' (Axolotlisation) කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් සහ විද්වතුන් සිය නොසතුට පළ කර තිබේ.




නගරයේ පදික මාරු, ගුවන් පාලම්, ගොඩනැගිලි මුහුණත්, තාප්ප, පාලම් සහ පදික වේදිකා දම්, ලා දම් (lilac) සහ ලැවෙන්ඩර් වැනි වර්ණවලින් හැඩගැන්වීමට නගරාධිපතිනිය පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, නගරයේ පවතින සැබෑ යටිතල පහසුකම් ගැටලුවලට විසඳුම් නොදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙවැනි දේ සඳහා මුදල් වැය කිරීම ඵලක් නොමැති ක්‍රියාවක් බව ප්‍රදේශවාසීහු පවසති. මාර්ගවල ඇති වළවල් සැකසීම, සංඥා ලාම්පු අලුත්වැඩියා කිරීම සහ ආරක්ෂිත කැමරා සවි කිරීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙම ප්‍රතිපාදන යෙදවිය හැකිව තිබූ බවට මැනුවෙල් මාර්ටිනෙස් නමැති ප්‍රදේශවාසියෙකු අදහස් දක්වා ඇත. එමෙන්ම 63 හැවිරිදි සර්ජියෝ රිවේරා නැමැත්තෙකු පෙන්වා දෙන්නේ 'සොකාලෝ' (Zócalo) හෝ 'ඇස්ටෙකා' (Azteca) ක්‍රීඩාංගණය වැනි ප්‍රසිද්ධ ස්ථාන මෙලෙස සැරසීම සුදුසු වුවත්, වෙනත් ස්ථාන සඳහා මෙලෙස මුදල් නාස්ති කිරීම අනවශ්‍ය බවයි. නගරයේ පදික වේදිකා අබලන්ව පවතිද්දී සහ මාර්ග ජලයෙන් යටවෙද්දී මෙවැනි දේ සඳහා සීමිත රාජ්‍ය සම්පත් වැය කිරීම විවේචනයට ලක්ව ඇත.

මෙක්සිකෝ ජාතික ස්වාධීන විශ්වවිද්‍යාලයේ මහජන ප්‍රතිපත්ති සහ තිරසාර නාගරීකරණය පිළිබඳ විශේෂඥයෙකු වන අර්නෙස්ටෝ මවුරා (Ernesto Moura) ද මෙම විවේචනවල යම් සාධාරණත්වයක් ඇති බව ප්‍රකාශ කර තිබේ. නගරයේ මාර්ග ආරක්ෂණ යටිතල පහසුකම් තවමත් අසම්පූර්ණ මට්ටමක පවතින බවත්, දිරාපත් වූ උමං මාර්ග සහිත වීදිවල ආරක්ෂාව වෙනුවෙන් ආයෝජනය නොකර මෙලෙස බාහිර අලංකරණයට මුදල් යෙදවීම ගැටලුකාරී බවත් ඔහු පෙන්වා දෙයි. තවද, රාත්‍රී කාලයේදී පැහැදිලිව පෙනෙන පරිදි සුදු සහ කහ වර්ණයෙන් තිබිය යුතු මාර්ග සහ පදික යටිතල පහසුකම් දම් වර්ණයෙන් පින්තාරු කිරීම අනතුරුදායක විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි. මිලියන 22ක ජනගහනයක් වෙසෙන මෙම නගරයේ පෙනුම ක්ෂණිකව වෙනස් කිරීමට පෙර නගරාධිපතිනිය මහජන අදහස් විමසීමක් සිදු නොකිරීම ද ඇයට එල්ල වන ප්‍රධාන විවේචනයකි.




එල්ල වන විවේචන හමුවේ නගරාධිපති ක්ලාරා බෘගාඩා දැඩිව සිටින අතර, ඇය පවසන්නේ මෙම විවේචන පූර්ව නිගමන හෝ පන්තිවාදය (classism) පදනම් කරගෙන එල්ල වන ඒවා බවයි. 'ඇක්සොලොට්ල්' ලෙස නම් කරන ලද සැහැල්ලු දුම්රිය සේවාවක් නැවත ආරම්භ කිරීමේ උත්සවයකදී ඇය ප්‍රකාශ කළේ අළු පැහැයෙන් තිබූ පොදු ස්ථාන වර්ණවත් කරමින්, ජනතාවට සේවාවන් සැපයීම සහ පොදු අවකාශයන් පරිවර්තනය කිරීම 'ඇක්සොලොට්ල්කරණය' නම්, තමන් නගරය එලෙස වෙනස් කිරීමට එකඟ වන බවයි. ඇය මීට පෙර 'ඉස්තපාලාපා' (Iztapalapa) නැමැති කම්කරු පන්තික ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, එහි අඳුරු වටපිටාව වර්ණවත් බිතුසිතුවම්වලින් හැඩගැන්වීම සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයට ලක්ව සිටියාය. මෙක්සිකෝවේ ජනාධිපතිනිය මෙන්ම බෘගාඩාගේ මිතුරියක වන ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) ද නගරාධිපතිනියගේ සහයට ඉදිරිපත්ව ඇත. සෑම රජයක්ම පදික පාලම් පින්තාරු කරන බවත්, නගරය ලස්සන කිරීමට ඇය ලා දම් වර්ණය තෝරා ගැනීම විවේචනය කිරීමට හේතුවක් නොදකින බවත් ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාලයන්හි ද දැඩි කතාබහක් සහ නොසතුටක් නිර්මාණය වී ඇත. නගරය පුරා දම් පැහැති 'ඇක්සොලොට්ල්' රූප මවා තිබුණ ද, පරිසර දූෂණය සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් සැබෑ ඇක්සොලොට්ල් සත්ත්වයා වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බව පරිශීලකයින් පෙන්වා දෙයි. එක් පරිශීලකයෙකු 'X' සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, නගරාධිපතිනිය සැබවින්ම මෙම සතුන්ට ආදරය කරන්නේ නම්, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මෙම සත්ත්ව විශේෂය සැබෑ ලෙසම ආරක්ෂා කිරීම සඳහා ආයෝජනය කළ යුතු බවයි.

fifa-world-cup-mexicos-decorations-for-the-mayor-to-see-the-error

fifa-world-cup-mexicos-decorations-for-the-mayor-to-see-the-error

fifa-world-cup-mexicos-decorations-for-the-mayor-to-see-the-error

fifa-world-cup-mexicos-decorations-for-the-mayor-to-see-the-error