engineer-to-court-to-explain-aravindas-cctv-not-working-when-kapila-died

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළව, ඔහු ජීවත් වූ නිවසේ සහ ඔහුගේ මළ සිරුර හමුවූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධති ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද ඒවායේ දත්ත කිසිවක් ගබඩා වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (19) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දැනුම් දුන්නේය.




මරණකරුගේ සහ අරවින්ද ද සිල්වා මහතාගේ නිවාස දෙකෙහිම සවිකර තිබූ අදාළ කැමරා පද්ධතිවලට අයත් ඩී.වී.ආර්. (DVR) යන්ත්‍ර දෙක නඩු භාණ්ඩ ලෙස අධිකරණයට අද දින ඉදිරිපත් කරන බවද විමර්ශන නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. තවද, එම යන්ත්‍ර දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම කැමරා පද්ධතිවල දත්ත ගබඩා නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අදාළ පද්ධතිය සවිකළ ඉංජිනේරුවරයාද අද දින සාක්ෂි ලබාදීම පිණිස අධිකරණය හමුවේ පෙනී සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය.

කපිල චන්ද්‍රසේන මහතා මියගිය ස්ථානයට ප්‍රවේශ විය හැකි දොරටු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට ඇතුළුවීම සඳහා බිම් මහල හරහා තවත් මාර්ග දෙකක් පවතින බවට අනාවරණය වී ඇතැයි අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය. රථවාහන ගාල් කරන පහළ බිම් මහලේ ඇති එම ස්ථාන දෙකෙන් නිවසට ඇතුළු වීමට හැකියාව තිබුණද, 2026 මැයි 05 වනදා සිට මැයි 07 වනදා දක්වා කාලය තුළ කිසිදු පුද්ගලයෙකු එම මාර්ග ඔස්සේ ගමන් කර ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව විමර්ශකයින් විසින් තහවුරු කරනු ලැබීය.




මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට පෙර ලබාගත් දුරකථන දත්ත වාර්තා ලබාගැනීමට අධිකරණයෙන් මීට පෙර නියෝගයක් ලබා දී තිබුණද, ඊට අදාළව ලබා දී ඇති කාලසීමාව ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා තවත් කාලය ලබාදෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඊට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කරන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

මෙම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරයෙකු හමුවීමට ගිය ඇපකරුවන් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් ලෙස නම්කර ඇත්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, අදාළ ඇපකරුවන් මේ වන විට වෙනත් කරුණක් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට මෙතෙක් නොහැකි වූ බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය.



එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, තමාගෙන් අවශ්‍ය නියෝගයක් ලබාගැනීම හරහා බන්ධනාගාරගත කර සිටින එම සාක්ෂිකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට විමර්ශකයින්ට හැකියාව පවතින බවයි. ඒ අනුව, මෝසමක් මාර්ගයෙන් අදාළ සැකකරුවන් පිළිබඳව අධිකරණයට කරුණු දන්වා සිටීමට කොළඹ අපරාධ කොට්ඨාසය එකඟතාවය පළ කළේය. මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විභාගය අද (19) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.