හැටන්, දික්ඔය ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ප්‍රධාන සැකකරු අද (27) අලුයම මහනුවර ජාතික රෝහලෙන් පළාගොස් තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහුව රෝහල්ගත කර ඇති අතර, අද උදෑසන 5.45ට පමණ ආරක්ෂක නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී ඔහු මෙසේ පළාගොස් ඇත.
මෙලෙස පළාගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 37ක් වන අතර, ඔහු විවිධ අවස්ථාවලදී 'සෙල් අයියා', 'මනෝජ්' සහ 'මනෝහරන්' යන නම්වලින් පෙනී සිට ඇත. අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇති මොහු මීට පෙර හාලිඇල්ල, වටවල, වික්ටන්, ලිඳුල, බගවන්තලාව මෙන්ම බුලත්සිංහල, ඉංගිරිය සහ පිළියන්දල වැනි ප්‍රදේශවල සැරිසරා ඇති බව බලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබුණි.
මීට පෙර අවස්ථාවේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ මාධ්‍ය මගින් ලබාදුන් ප්‍රචාරයත් සමග මහජනතාවගෙන් ලැබුණු තොරතුරු මත හැටන් සහ බගවන්තලාව පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් සිදුකළ දැඩි මෙහෙයුමකින් අනතුරුවය. මේ වන විට පළාගිය මෙම භයානක සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ බන්ධනාගාර බලධාරීන් එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර, මොහු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස බලධාරීන් විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
