depreciated-rupee-stabilizes-again

පසුගිය දිනවල තාවකාලික වශයෙන් පහත වැටීමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා රුපියලේ අගය මේ වන විට සාර්ථක ලෙස යළි යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවර වෙමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි. ජාතික ගුවන්විදුලිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ රුපියල තාවකාලිකව අවප්‍රමාණය වීම මුල් කරගනිමින් විවිධ පාර්ශ්වයන් දේශපාලනමය කෝණයකින් අදහස් දක්වමින් සමාජය නොමඟ යැවීමට උත්සාහ කළ ද, මෙම තත්ත්වයට මූලික වී ඇත්තේ සම්පූර්ණයෙන්ම ආර්ථික විද්‍යාත්මක සාධක පමණක් බවයි.




මීට බලපෑ ආසන්නතම සහ ප්‍රධානතම හේතුවක් ලෙස මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් සඳහා පැවති ඉල්ලුම ක්ෂණිකව ඉහළ යාමයි. රජය විසින් ඉදිරියේදී ආනයන සීමා පැනවීමට නියමිත බවට ව්‍යාපාරික ප්‍රජාව වෙත ලැබුණු විවිධ තොරතුරු හේතුවෙන්, ව්‍යාපාරිකයන් එකවර විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීමට පෙළඹීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මීට අමතරව, මෙරටට වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලා ගොස් ඇති අතර, ඇතැම් පිරිස් වැඩි ලාභ උපයා ගැනීමේ අරමුණින් ඩොලර් සංචිත තමන් සන්තකයේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇත. එමෙන්ම, දේශීය අපනයනකරුවන් පවා තමන් උපයන විදේශ විනිමය මෙරටට රැගෙන ඒම ප්‍රමාද කරමින් විදේශීය බැංකු ගිණුම්වලම රඳවා තබා ගැනීමට පෙළඹීම නිසා වෙළෙඳපොළ තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී තත්ත්වය තවත් උග්‍ර වූ බව ද හෙතෙම අනාවරණය කළේය.




කෙසේ වුවද, මෙම සමස්ත ක්‍රියාවලිය හදිසියේ ඇති වූ කෙටි කාලීන ආර්ථික වෙළෙඳපොළ කැලඹීමක් (Short-term market shock) පමණක් වන අතර, මේ වන විට එම බලපෑම් සමනය වෙමින් පවතින බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා වැඩිදුරටත් තහවුරු කළේය. ඒ අනුව, රුපියලේ අගය මේ වන විට නැවතත් සාමාන්‍ය ස්ථාවර මට්ටමකට පැමිණ තිබේ.

depreciated-rupee-stabilizes-again