without-a-boss-10-lakh-vehicle-number-plates-including-3-lakh-drivers-licenses-rmv-works-piled-up

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය මාස දෙකකට ආසන්න කාලයක් පුරා හිස්ව පැවතීම හේතුවෙන් එම ආයතනයේ එදිනෙදා පරිපාලන සහ සේවා සැපයීමේ කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මාසය අගභාගයේදී හිටපු කොමසාරිස් ජනරාල්වරයා නීතිමය ගැටලුවක් මත අත්අඩංගුවට පත්ව සේවයෙන් ඉවත් වීමෙන් පසුව, නව නිලධාරියෙකු ස්ථිර වශයෙන් පත් කිරීමට වගකිවයුතු බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැත.

මේ හේතුව නිසා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්යයන් ඉතා මන්දගාමී ස්වභාවයකින් සිදුවන අතර, විවිධ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ද අතිශය දුෂ්කරතාවට පත්ව සිටිති.




ආයතනික පරිපාලනයේ පවතින මෙම ඇනහිටීම සහ මන්දගාමී ක්‍රියාවලිය හේතුවෙන් මේ වන විට වාහන අංක තහඩු ලක්ෂ 10ක් සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 3ක් පමණ මුද්‍රණය නොකර ගොඩගැසී ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි. අදාළ ගාස්තු ගෙවා වසර ගණනාවක් තිස්සේ බලා සිටින පාරිභෝගිකයන් ලක්ෂ ගණනකට මෙම බලපත්‍ර සහ අංක තහඩු මෙතෙක් ලැබී නොමැති අතර, ඇතැම් රියැදුරු බලපත්‍ර වසර 5ක පමණ කාලයක සිටත්, වාහන අංක තහඩු වසර 2ක පමණ කාලයක සිටත් නිකුත් නොකර ප්‍රමාද වී පවතී.

නිල වශයෙන් වාහන අංක තහඩු ලබා ගැනීමට පවතින දැඩි ප්‍රමාදය නිසා වාහන හිමිකරුවන් බොහෝ දෙනෙකු පෞද්ගලික ආයතන වෙතින් මුදල් ගෙවා තාවකාලික අංක තහඩු සකස් කර ගැනීමට පෙළඹී සිටිති. මේ සඳහා ඔවුන්ට අමතර මුදලක් වැය කිරීමට සිදුවන අතර, මෙලෙස පෞද්ගලික මට්ටමින් නිසි ප්‍රමිතියකින් තොරව අංක තහඩු සකස් කිරීම විවිධ අපරාධ ක්‍රියාවලීන් සඳහා අනුබලදීමක් විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු අඟවයි. රජයට විශාල ආදායමක් උපයන මෙම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතනය කෙරෙහි මහජන අප්‍රසාදය දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, වහාම කොමසාරිස් ජනරාල්වරයකු පත් කර මෙහි කටයුතු විධිමත් කරන ලෙස දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.




මෙම තත්ත්වය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් තාරක දේශප්‍රිය මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට පත්වීමෙන් පසු පැනනැඟී ඇති පරිපාලනමය තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යාංශය ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිත බවයි. දෙපාර්තමේන්තුව සතු දිස්ත්‍රික් කාර්යාල 25න් 11ක් අන්තර්ජාලය ඔස්සේ (Online) සෘජුව සම්බන්ධ කර ඇති අතර, ඉතිරි කාර්යාල 14 ක්‍රියාත්මක වන්නේ නොබැඳි (Offline) ක්‍රමයටය. එම නොබැඳි කාර්යාලවල ලිපි ලේඛන සති දෙකකට වරක් තැපෑලෙන් ලැබීම ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, එම ගැටලුව විසඳීම සඳහා ඉදිරියේදී එම දිස්ත්‍රික් කාර්යාල 14 ද අන්තර්ජාල පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු ආරම්භ කර ඇත.

මීට පෙර පැවති කාඩ්පත් හිඟය හේතුවෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ප්‍රමාද වුවද, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ තරුණ සේවා සභාවේ අමතර ශ්‍රම දායකත්වය ලබා ගනිමින් මේ වන විට ඉන් සියයට පනහක පමණ ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් කොට තැපැල් කිරීමට පියවර ගෙන ඇතැයි ද අතිරේක කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඉදිරි මාස දෙක ඇතුළත නව කාඩ්පත් දස ලක්ෂයක් ලැබීමට නියමිත බැවින් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ හිඟය සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇත. එසේම, එළඹෙන ජුනි මස 10 වැනිදා සිට නව සැපයුම්කරුවෙකු මඟින් වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ හරහා මෙතෙක් ගොඩගැසී ඇති පැරණි අංක තහඩු හිඟය සියල්ල කඩිනමින් මුද්‍රණය කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.