magistrate-goes-to-navaloke-and-examines-pallegama-thero-and-transfers-him-to-the-national-hospital---remanded-till-22

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලෙස ලිංගික හිංසනයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ව එළඹෙන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළේය.




මෙම නියෝගය ලබා දීමට පෙර මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ නවලෝක රෝහල වෙත ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමියන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව, අදාළ වෛද්‍ය නිර්දේශයන් සැළකිල්ලට ගනිමින් උන්වහන්සේව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියම කර ඇත.

කෙසේ වෙතත්, ඊයේ (12) දිනයේදී මෙම නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අටමස්ථානාධිපති හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා නියෝගයක් නිකුත් කිරීම ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඊට හේතුව ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ඒ වන විටත් සිය අධිකරණය වෙත ලැබී නොතිබීමයි. එමෙන්ම, සැකකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටින තත්ත්වයක් තුළ ඔහුව යළි රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කිරීමට තමන්ට නීතිමය ප්‍රතිපාදන නොමැති බවද මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.




සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතා හරහා වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. දුර බැහැර ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සැකකාර හිමියන්ට නොමැති බවත්, උන්වහන්සේව විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කළ යුතුව ඇති බැවිනුත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව බන්ධනාගාර නිලධාරීන් විසින් එමඟින් අධිකරණයට දන්වා සිටින ලදී.

magistrate-goes-to-navaloke-and-examines-pallegama-thero-and-transfers-him-to-the-national-hospital---remanded-till-22