excavation-of-the-chemmani-burial-pit-found-parts-of-another-245-bodies

යාපනය, චෙම්මනි ප්‍රදේශයේ පිහිටි සිත්තුපාත්තු සුසාන භූමියට ආසන්න ස්ථානයක පවතින සමූහ මිනීවළේ සිදු කෙරෙන හයවන අදියරේ කැණීම් කටයුතුවලදී මේ වන විට පුද්ගලයන් 246 දෙනෙකුට අයත් අස්ථි කොටස් හඳුනා ගැනීමට හැකි වී තිබේ. යාපනය මහේස්ත්‍රාත් එස්.

ලෙනින් කුමාර් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම කැණීම් කටයුතුවල හයවන දිනය ඊයේ (04) දිනට යෙදී තිබූ අතර, එහිදී තවත් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි විය.




අදාළ ස්ථානයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සිරුරු 246 අතුරින් සිරුරු 243කට අයත් අස්ථි කොටස් සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන් කර ඇති බව කැණීම් කටයුතු භාර නිලධාරීහු ප්‍රකාශ කරති. ඉකුත් ඉරිදා දිනයේ මෙහි කටයුතු තාවකාලිකව නතර කර තිබූ නමුත්, ඊයේ (04) දිනයේ සිට යළිත් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙම නවතම ප්‍රගතිය වාර්තා වී ඇත.

මෙම කැණීම් සිදුකරන භූමිය තුළ සැක කටයුතු අන්දමින් කළු පැහැති පස් සහිත ස්ථානයක් ද පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කර ඇති අතර, ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා පස් සාම්පල ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමු කර තිබේ. එමෙන්ම කැණීම් අතරතුර හමුවී ඇති තවත් සැක සහිත අවශේෂ කොටස් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඒවා පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට නිලධාරීන් බලාපොරොත්තු වේ.