the-soldier-who-broke-the-pin-and-poured-one-hundred-and-eighty-thousand-was-arrested

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක පින්කැට දෙකක් කඩා රුපියල් එක්ලක්ෂ අසූදහසකට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන සෙබළෙකු පසුගිය 2 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු වසර විසිදෙකක හමුදා සේවයෙන් පසු මේ වනවිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




මෙම සොරකම පසුගිය වෙසක් පොහෝ දින අලුයම එකට පමණ පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් මහනුවර ප්‍රදේශයෙන් දෛනික කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ මග්ගොන ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන නැවතී සිට මෙම අපරාධය සැලසුම් කර තිබේ. සොරකම සිදු කිරීමට පෙර දින දහවල් කාලයේදී ආගමික වතාවත්වල නිරත වන මුවාවෙන් පන්සලට පැමිණ ඇති මෙම පිරිස එහි තොරතුරු එක්රැස් කර, අනතුරුව රාත්‍රී කාලයේදී විහාරස්ථානයට පිටුපසින් පිහිටි ඉඩමක් හරහා හොර රහසේම ඇතුළු වී මෙම කොල්ලය සිදුකර ඇත. විහාරාධිපති හිමියන් පොලිසියට පවසා ඇත්තේ විනිවිද පෙනෙන ආකාරයට සකසා තිබූ එම පින්කැටවල රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් තිබෙන්නට ඇති බවට තමන් අනුමාන කරන බවයි.

විහාරස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිලධාරීන්ට අපරාධකරුවන් පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා අලුත්ගම නගරයේදී අදාළ මෝටර් රථය දැක, ක්ෂණිකව සිය යතුරුපැදියෙන් එය ලුහුබැඳ ගොස් ගාලු පාරේ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට පිවිසෙන පදික මාරුව අසලදී රථය හරස්කර නතර කරගැනීමට සමත් වී ඇත. අනතුරුව ඒ බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතාට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර හමුදා සෙබළා සහ මෝටර් රථය සිය භාරයට ගෙන තිබේ.




පොලිසිය විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී යකඩ කපන කතුරු සහ තවත් ආයුධ කිහිපයක් සොයාගෙන ඇත. ඊට අමතරව සොරකම් කරන ලද මුදලින් කොටසක් වන රුපියල් විස්සේ නෝට්ටු 367ක් සහ කාසි 977ක් ද රථය තුළ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. පොලිසිය රථය නතර කරන අවස්ථාවේදී ඒ තුළ සිට ඇත්තේ දෙදෙනෙකු පමණක් වන අතර, සෙසු සැකකරුවන් තිදෙනා සොරකම් කළ මුදල් බෙදාගැනීමෙන් අනතුරුව පලාගොස් ඇති බව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, පලාගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අලුත්ගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.